June, 5, 2015
ලංකා ඉන්දීය තෙල් සමාගම අද සිට මෙරට පෙට්රල් අලෙවිය අඩුකරන්නේ යැයි පැතිර යන කතාවල සත්‍යයක් නොමැති බවත් සමාගම කිසිදු අඩු කිරීමකින් තොරව සිය ඉන්ධන පිරවුම්හල්වල පෙට්රල් ඉදිරියටත් අලෙවිකරන බවත් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.
ලංකා ඉන්දීය තෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුබෝද් ඩක්වලේ (Subodh Dakwale) අප සමග සම්බන්ධ වෙමින් කියා සිටියේ සමාගම විසින් 2014 මැයි මාසයේදී මෙරට වෙළඳ පොළේ පෙට්රල් කිලෝ ලීටර් 18,180 ක් අලෙවි කළ බවත් එය මේ මැයි මාසයේදී කිලෝ ලීටර් 19,991 ක් දක්වා වැඩිවූ බවයි.
ඒ ආකාරයෙන්ම ඉදිරියටත් කිසිදු අඩු කිරීමකින් තොරව පෙට්රල් අලෙවි කිරීමට සූදානම් බව හෙතෙම සඳහන් කළේය.
කෙසේවෙතත්, වත්මන් රජය විසින් ලෝක වෙළඳ පොළේ මිලට වඩා අඩුවෙන් පෙට්රල් විකිණීම සඳහා මිල නියම කිරීම හමුවේ පෙට්රල් ලීටරයකින් සමාගම රුපියල් 30 ක පමණ පාඩුවක් ලබන බව හෙතෙම පැවසීය.
මේ අනුව, ලංකා ඉන්දීය තෙල් සමාගම පෙට්රල් විකිණීම මගින් මාසයකට රුපියල් මිලියන 500-600 ත් අතර පාඩුවක් මේ වනවිට ලබන බවත් මේ ආකාරයෙන් දිගින් දිගටම පාඩුවට පෙට්රල් විකිණීම අසීරු බවත් ඩක්වලේ මහතා වැඩිදුරටත් කීය.
වත්මන් රජය ඉන්ධන මිල ගණන් අඩුකරන විට ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 45 ක් පමණ වූ අතර එය මේ වනවිට ඩොලර් 58 සීමාව ඉක්මවා තිබේ.
ඉදිරියේදී මෙරට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතය.
Video Story