පෙබරවාරියේ සිට වරිපනම්, බලපත්‍ර ගාස්තු ගෙදර සිටම ගෙවිය හැකි ක්‍රමවේදයක්

    January, 8, 2018

    පළාත් පාලන ආයතන සඳහා මහජනතාව ගෙවිය යුතු වරිපනම් ගාස්තු, බලපත්‍ර ගාස්තු ආදිය මෙන්ම ගොඩනැඟිලි බලපත්‍ර අනුමත කර ගැනීමේ ආදී අංශ රාශියක් පරිගණක ජාලගත කිරීමේ වැඩසටහන යටතේ ONLINE මඟින් ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

    පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ඇති ICTA ආයතනය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන e LOCAL GOVERNMENT වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කරනු ලබයි.

    මෙමඟින් මහජනතාවට තම කාලය ඉතුරු කරගෙන, දුරකථන, ජංගම දුරකථන හෝ CREDIT CARD භාවිත කර තම නිවසේ සිටම ගෙවීමට පහසුකම් සැලසෙන අතර එමඟින් නගර වැසියන්ගේ වටිනා කාලය, ශ්‍රමය ඉතිරිවන අතරම මේ ආශ්‍රිතව සිදුවෙමින් පැවති දූෂණ සහ අක්‍රමිකතා ද අවම කිරීමට අවකාශ ලැබෙනු ඇත.

    ඒ අනුව 2018 වසරේ පෙබරවාරි 01 දා සිට තෝරාගත් පළාත් පාලන ආයතන 30ක මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර මේ වසරේදීම තවත් පළාත් පාලන ආයතන 50ක දක්වා ව්‍යාප්ත කිරීමට කටයුතු කර ඇත. ඉතිරි පළාත් පාලන ආයතනවල ද කඩිනම් වැඩසටහනක් ලෙස මේ වැඩසටහන ව්‍යප්ත කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම ද පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය හා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශ එක්ව කටයුතු කිරීමට තීරණය කර තිබේ.

    මෙම ක්‍ර‍මවේදය ඔස්සේ  ගෙවීම් සිදු කිරීමට අපහසුතා ඇති අය සඳහා අදාළ පළාත් පාලන ආයතන 30හි  ONLINE ක්‍රමවේදයට ගෙවිම් කවුළුවක් විවෘතව තිබෙන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේය.

    එසේම කොළඹ මහ නගර සභාව ගොඩනැඟිලි බලපත්‍ර අනුමත කිරීම මෙම ONLINE තාක්ෂණය යොදාගෙන 2018 පෙබරවාරි 01 දා සිට ක්‍රියාත්මක කිරීමට එකඟතාවය ප්‍රකාශ කර තිබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.