පේෂ කර්මාන්ත ශිල්පීන් සඳහා ජාතික සම්මාන පිරිනැමේ

    December, 12, 2025

    පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් දේශීය අත්යන්ත්‍ර පේෂ කර්මාන්තය නඟාසිටුවීමේ අරමුණ ඇතිව සංවිධානය කරනු ලබන “රන්සළු” අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත ජාතික සම්මාන ප්‍රදානය අද (12 දා) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

    කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව, පළාත් කර්මාන්ත හා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තු 9 සමඟ එක්ව වාර්ෂිකව මෙම අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත රෙදි පිළි ජාතික තරගය සංවිධානය කරනු ලබයි.
    මෙවර පළාත් මට්ටමින් අංශ 23 ක් යටතේ මූලික තරග පවත්වා එමගින් තෝරා ගත් නිර්මාණ ජාතික තරඟයට ඉදිරිපත් කර ඉන් ජයග්‍රහණය කළ ශිල්පීන් 127 දෙනෙක් සඳහා රන්, රිදී, ලෝකඩ හා කුසලතා සම්මාන සමඟ මුදල් ත්‍යාග ලබාදෙමින් ශිල්පීන් ඇගයීමට ලක් කරනු ලැබීය. මෙම වසරේ අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත සම්මාන තරඟාවලියේ සමස්ත ශූරතාවය දකුණු පළාත හිමි කරගත් අතර අනුශූරතාවය මධ්‍යම පළාතට හිමිවිය.

    මෙහිදී අදහස් දක්වමින් සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා,

    පසුගියදා ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මහනුවර, කුරුණෑගල, මඩකලපුව, අම්පාර වැනි දිස්ත්‍රික්කවල පේෂ කර්මාන්ත ශිල්පීන් විශාල ප්‍රමාණයක් ආපදාවට ලක්වී ඇති බවට අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇති බවත් මෙලෙස හානියට පත්ව ඇති සියළුම ශිල්පීන්ට ලබාදිය හැකි සියලුම සහන ඉතා ඉක්මනින්ම ලබා දී ඔවුන් නැවත යථා තත්ත්වයට පත් කර නැවතත් ඔවුන්ට තම කර්මාන්තවල නියැලීමට අවශ්‍ය පසුබිම සකස් කරන බව පැවසීය. එසේම පේෂ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ පවතින දීර්ඝකාලීන ගැටලු රජය විසින් හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් මෙවර අයවැය තුළින් පේෂ කර්මාන්ත ශිල්පීන් සඳහා රුපියල් මිලියන දහයක් වෙන් කර ඇති අතර එම මුදලින් ශිල්පීන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරන බවද වැඩිදුරටත් පැවසීය.

    මෙම ජාතික සම්මාන ප්‍රදානයට සමගාමීව “රන්සළු” අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත අලෙවි ප්‍රදර්ශනයද සංවිධානය කර තිබූ අත එම ප්‍රදර්ශනය 12, 13 හා 14 යන තෙදින පුරා පැවැත්වෙයි.