February, 16, 2026
පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යවසාය හා ආයෝජන කවුන්සිලයේ (CWEIC) සභාපති ජොනතන් මාර්ලන්ඩ් සාමිවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ අතර, ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ රට තුළට විදේශ ආයෝජන ගලා ඒම ඉහළ නැංවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගියදා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්/ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්ප්පෙරුම මහතා හමුවිය.
මෙම සාකච්ඡාව සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යවසාය හා ආයෝජන කවුන්සිලය නියෝජනය කරමින් එහි අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ නීරෝ කුක් මහතා සහ මහාචාර්ය අසීෆ් චෞද්රි මහතා, ප්‍රධාන වාණිජ නිලධාරී ඒ.කිව්. හම්සා මහතා, ශ්‍රී ලංකාවේ අධ්යක්ෂ දේශාන් ගෝනවල මහතා සහභාගී වූ අතර, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම්වරයා සමඟ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා සහභාගී විය.
උක්ත සාකච්ඡාවේ දී, මාර්ලන්ඩ් සාමීවරයා විසින් පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යවසාය හා ආයෝජන කවුන්සිලය (CWEIC) පිළිබඳ දල හැඳින්වීමක් සිදු කරන ලද අතර, එය පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් අතර වෙළඳාම සහ ආයෝජන සඳහා පහසුකම් සැලසීම අරමුණු කොට ස්ථාපිත වූ සාමාජික සංවිධානයක් බව ප්‍රකාශ කරන ලදී. එමෙන්ම ව්‍යවසාය සංවර්ධනය සහ ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳව විවිධ රටවල දී ඔහු විසින් ලබා ගන්නා ලද අත්දැකීම් පිළිබඳවද හෙතෙම සිය අදහස් දක්වන ලදී. පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යවසාය හා ආයෝජන කවුන්සිලය මගින්, රාජ්‍ය සහ පෞද්ගලික අංශය අතර හවුල්කාරිත්වයන් ප්‍රර්වධනය කරමින් තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට කටයුතු කරන අතර එහි සාමාජික ජාතීන් අතර, ව්‍යාපාරික අවස්ථා නිර්මාණයට ද දායකත්වය ලබාදෙයි.
භාණ්ඩාගාර ලේකම් විසින් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සඳහන් කළ අතර තිරසර වර්ධනය, රැකියා උත්පාදනය සහ යටිතල පහසුකම් සංවර්ධනයට අදාළව වැඩි සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ආකර්ශනය කර ගැනීමේ වැදගත්කම ද අවධාරණය කරන ලදී. එමෙන්ම, පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජිකයින් අතර ශ්‍රී ලංකාව ආකර්ශනීය ආයෝජන සන්ධිස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා කවුන්සිලයේ සහයෝගය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද භාණ්ඩාගාර ලේකම් විසින් දන්වා සිටින ලදී.
ඊට ප්‍රතිචාර වශයෙන්, මාර්ලන්ඩ් සාමිවරයා විසින් මෙරටට ඉහල විදේශ ආයෝජනක් ගලා ඒමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යවසාය හා ආයෝජන කවුන්සිලයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව සඳහන් කළේය. තවද, ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීම, ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීම සහ ආර්ථික හවුල්කාරිත්වයන් වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කිරීමට ඇති කැමැත්ත පිළිබඳව ද ප්‍රකාශ කළේය.
ඉදිරි කාලය තුළ අන්‍යොන්‍ය සහයෝගය අඛණ්ඩව ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා කවුන්සිලයේ දායකත්වය ලබා ගැනීමට සහ ඊට අනුකූල ප්‍රායෝගික යාන්ත්‍රණයන් පිළිබඳව සලකා බැලීම සඳහා දෙපාර්ශ්වය එකඟ විය.