පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 3,000කින් ඉහළට

    January, 20, 2026

    2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනතේ විධිවිධාන අනුව 2026 වර්ෂයේ ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ ජාතික අවම වැටුප, රුපියල් 27,000 සිට රුපියල් 30,000 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව කම්කරු දෙපාර්තමෛ්න්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්. එම්. ඩී. එන්. කේ. වටලියද්ද මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඊට සමගාමීව දෛනික වැටුප ද රුපියල් 1,080 සිට රුපියල් 1,200 දක්වා ඉහළ නංවා ඇති බවයි.

    ඒ අනුව සේවායෝජකයන් විසින් අදාල ගෙවීම් කළ යුතු බව ද අදාල නිවේදනයේ සඳහන්ව ඇත.

    මෙම සංශෝධන පනත නිසිලෙස ක්‍රියාත්මක කිරීමේදී, අතරමැදියෙකු හෝ කොන්ත්‍රාත්කරුවකු හරහා යම් කර්මාන්තයක හෝ සේවාවක සේවයේ යොදවා ගනු ලබන සේවකයකු සම්බන්ධයෙන් ආසන්නතම සේවායෝජකයා මෙන්ම අවසාන සේවායෝජකයා ද ඇතුළුව සෑම සේවායෝජකයකුම එකී පනතේ නියමයන් ප්‍රකාරව බැඳී සිටියි.

    එසේම, සංශෝධිත පනතේ 4 වන වගන්තිය ප්‍රකාරව අයවැය සහන දීමනාවන් එකතු කිරීම හැරුණු කොට සේවකයෙකු විසින් 2025.03.31 දින වන විට ලබමින් සිටි වෙනත් කිසිම දීමනාවක් අවම චේතනය සඳහා හිලවු කිරීමට යොදා නොගත යුතු ය.

    මෙම වැටුප් වැඩි කිරීම අනුව සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල්, අතිකාල, පාරිතෝෂික, ප්‍රසූතිකාධාර ගෙවීම් සහ නිවාඩු දින ගෙවීම් යනාදී සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් සඳහා අදාල කර ගැනීමේ වගකීම සේවායෝජකයන් වෙත පැවරෙනු ඇත.

    යම් හෙයකින්, නිසි පරිදි ගෙවීම් නොකරන සේවායෝජකයන් වෙතොත් ඒ සම්බන්ධයෙන් වන පැමිණිලි cms.labourdept.gov.lk ඔස්සේ කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිලි කළමනාකරණ පද්ධතියට ඇතුළත් කිරීම හෝ ළඟම පිහිටි කම්කරු කාර්යාලයට ලිඛිතව ඉදිරිපත් කළ හැකි බව ද අදාල නිවේදනයෙ වැඩි දුරටත් සඳහන් වෙයි.