යම් යම් පුද්ගලයින් තමන්ගේ ආරක්ෂාව උදෙසා පෞද්ගලික ආරක්ෂකයින්ගේ සේවාව ලබා ගැනීම පිළිබඳව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමුවිය. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය සරත් වීරසේකර මහතාගේ සභාපතිත්වයෙන් 2023.11.22 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
පෞද්ගලික ආරක්ෂකයින් පිරිවරාගෙන ගමන් කරන ඇතැම් පුද්ගලයින් හේතුවෙන් මහජනතාව යම් යම් පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දෙන බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා දුන්හ. යම් පුද්ගලයකු ලබාගන්නා පෞද්ගලික ආරක්ෂාව පිළිබඳව නීතිමය වශයෙන් පොලීසියට මැදිහත්විය නොහැකි බව කරුණු දක්වමින් ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරීහු මෙහිදී පැවසුහ. කෙසේ වෙතත් එම පෞද්ගලික ආරක්ෂක සේවා වල පිරිස් ආයුධ භාවිත කරන බැවින් යම් නියාමනයක් අවශ්ය බව කාරක සභාව පෙන්වා දෙන ලදී. පුද්ගලයින් පෞද්ගලික ආරක්ෂක සේවා ලබා ගැනීමේදී එම නියාමනය කිරිමට අදාල නිර්ණායක සකස් කිරීමට ආරක්ෂක අමාත්යංශයට උපදෙස් ලබාදීම කාරක සභාව තීරණය කරන ලදී.