March, 14, 2016
පරිගණක් හැකරුන් (hackers) පිරිසක් විසින් බංග්ලාදේශ මහ බැංකුවේ පරිගණක පද්ධතියට ඇතුළු වී ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි. මෙහිදී නිව්යෝර්ක් ෆෙඩරල් සංචිත බැංකු ගිණුමෙන් ඩොලර් බිලියනයක පමණ මුදලක් සොරා ගන්නට තැත් කර ඇතැයි එහි වැඩිදුරටත් සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් බැංකු නිලධාරියෙකු කියා සිටින්නේ මෙලෙස සොරා ගනු ලැබූ මුදල්වලින් ඩොලර් මිලියන 20 ක් පිලිපීනයට ද, තවත් කොටසක් හොංකොං වලටද යවා ඇති බවට සැකකරන බවයි. එසේම තවත් ඩොලර් මිලියන 20 ක මුදලක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ගිණුමකට යවා ඇති බව රොයිටර් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
බංග්ලාදේශ මහ බැංකුවේ ජංගම ගිණුමෙහි බිලියන ගණනක ඩොලර් තැන්පතු ඇති අතර ජාත්‍යන්තර පියවීම් (international settlements) සඳහා එය යොදා ගන්නා බව කියැවේ.
පරිගණක පද්ධති ආරක්ෂක විශේෂඥයින් කියා සිටින්නේ මේ සඳහා මහ බැංකුව ඇතුළතින් කිසිවකු සම්බන්ධ වී නැති බවත් බැංකු ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසකගේ සහාය ලබා ගැනීමට මෙම හැකරුන් පිරිස කටයුතු කරන්නට ඇතැයි සැක කරන බවත්ය.
මේ අතර ඩොලර් මිලියන 850 ක පමණ මුදලක් තවත් ගිණුම් වෙත යැවීමට කර තිබූ සැලසුම් අකුරු නොගැළපීමක් (spelling mistake) හේතුවෙන් වැළකී ගොස් ඇති බව ඔවුන් වැඩිදුරටත් මෙහිදී කියා සිටී.
Video Story