බද්දේගමින් කම්හලක් මිලදී ගනිමින් DSI අළුත් වැඩකට මුල පුරයි

    July, 22, 2014

    ගාල්ල, බද්දේගම පිහිටි Okta PVC Lanka (PVT) Ltd සමාගමේ පී.වී.සී. බට නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව ඇතුළු එම සමාගමේ සියළු වත්කම් මිලදී ගනිමින් ඩී.එස්.අයි. සමූහ ව්‍යාපාරය මුල් වරට පී.වී.සී. බට නිපදවීමේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට සූදානම් වේ.

    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ඩී.එස්.අයි. සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ, කුලතුංග රාජපක්ෂ මහතා පැවසුවේ Okta PVC Lanka (PVT) Ltd සමාගමේ සියළු වත්කම් රුපියල් මිලියන 137 කට ඩී.එස්.අයි. සමූහ ව්‍යාපාරය විසින් මිලදීගත් බවයි.

    මිලදීගත් කර්මාන්ත ශාලාව නවීකරණය කර ඉදිරියේදී ඩී.එස්.අයි. සමූහයේ සන්නාමය යටතේ පී.වී.සී. බට නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇතැයි රාජපක්ෂ මහතා අප සමග වැඩිදුරටත් සඳහන් කළේය.

    ඩී.එස්.අයි. සමූහය විසින් මෙම මිලදී ගැනීම සැම්සන් ඉන්ටර්නැෂනල් සමාගම මගින් කර තිබෙන අතර සැම්සන් ඉන්ටර්නැෂනල් සමාගමේ සියයට 51 කට වැඩි කොටස් ඩී.එස්.අයි. සමූහය සහ එහි පාර්ශව කරුවන්ට අයත් වෙද්දී සියයට 29 ක කොටස් අයත් වන්නේ කොටස් වෙළඳ පොළේ ප්‍රබල ආයෝජකයෙකු වන ටී. සෙන්තිල්වේල් මහතාටයි.

    Okta PVC Lanka (PVT) Ltd සමාගම යනු පී.වී.සී. බට සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන කර අලෙවි කරන සමාගමක් වන අතර මෙම නිෂ්පාදන සඳහා SLS සහ ISO සහතික ලබා තිබේ.