September, 19, 2016
උක් කර්මාන්තය හා උක් ගොවීන් මෙන්ම පාරිභෝගික ජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ආනයනික සීනි සදහා වන විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද සංශෝධනය කළ බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නව බදු සංශෝධනය හේතුවෙන්, වෙළෙද පොළේ සීනි මිලට කිසිදු බලපෑමක් ඇති නොවන බවයි.
ආනයනික සීනි සඳහා වන බදු සංශෝධනය කිරීමෙන්, සීනි අලෙවිය සඳහා නියම කර ඇති, කිලෝග්‍රෑම් එකක් සඳහා වන රුපියල් 95/= ක් වන උපරිම සිල්ලර මිලට කිසිදු බලපෑමක් නොමැත. ඒ අනුව පාලන මිල ඉක්මවා වැඩි මිලට සීනි අලෙවි කරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් දිවයින පුරා වැටලීම් සිදු කිරීමට, අදාළ අංශ වෙත දැනටමත් උපදෙස් ලබා දී ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියි. දේශීය උක් කර්මාන්තය හා උක් ගොවීයා ආරක්ෂා කර ගැනීම සහ පාරිභෝගික ජනතාව ආරක්ෂා කර ගැනීම උදෙසා ජාත්‍යන්තර වෙළෙදපොලේ, සීනි මිල ගණන්වල උපනතීන් සලකා බලා ආනයනික සීනි සඳහා වන වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට පියවර ගත් බව රවී කරුණානායක මහතා පෙන්වා දෙයි.
ජාත්‍යන්තර වෙළඳපොළේ සීනි මිල ගනන්වල උච්ඡාවචනයන් සිදු වන ආකාරය පිළිබදව මුදල් අමාත්‍යාංශය නිරන්තර අවධානයෙන් පසුවන බවත්, ඒ අනුව ජීවන වියදම් පිළිබද අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටු නිර්දේශ මත පාරිභෝගික ජනතාව හා ගොවිජනතාව ආරක්ෂා කර ගැනීම වෙනු වෙන් අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනිමට රජය පසු බට නොවන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටී.
ආනයනික සීනි මත පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පසුගිය (15)දා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට රජය තීරණය කරනු ලැබීය. ඒ අනුව සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 1.75කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා මෙතෙක් පනවා තිබූ ශත විසිපහක බද්ද මේ අනුව රුපියල් 2/= දක්වා ඉහළ දමන ලදි.
මේ අතර ආනයනික දුඹුරු සීනි සඳහා ද විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් (15) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව ආනයනික දුඹුරු සීනි කිලෝග්‍රෑම් 1ක් සඳහා රු 15ක බද්දක් පනවා තිබේ. දේශීයව නිෂ්පාදිත දුඹුරු සීනි වෙළෙඳපොළට පැමිණෙන බැවින්, දේශීය සීනි කර්මාන්තය ආරක්ෂා කිරීමේ අපේක්ෂාවෙන් දුඹුරු සීනි සඳහා මෙසේ රුපියල් 15/= ක, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ.මෙමඟින් දේශීය උක් වගා කරන ගොවීන්ට සහනයක් සැලසීම රජයේ අපේක්ෂාවයි.