බලශක්ති ක්ෂේත්‍රයට උපායමාර්ගික ආයතනයක්

    April, 18, 2015

    ඛනිජ තෙල්, විදුලිය ඇතුළු බලශක්ති ක්ෂේත්‍රයේ පවතින අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබැලීමටත්, අනාගත අභියෝග ජයගැනීමටත් මෙම ආයතන සියල්ල ඒකාබද්ධව පාලනය කළහැකි නව කළමනාකරණ විධික්‍රමයක් හඳුන්වාදිය යුතුයැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා කියයි.

    මේ අනුව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක නව වසර වෙනුවෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ සේවක මණ්ඩලය ඇමතීමේ අවස්ථාවට සහභාගී වෙමින් සඳහන් කළේ බලශක්ති ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කටයුතු කිරීමට, ව්‍යවස්ථාපිත බලතල සහිත උපායමාර්ගික ආයතනයක් ස්ථාපිත කිරීමට අදහස් කර තිබෙන බවයි.

    ඛනිජතෙල්, විදුලිය වැනි ආයතන පුද්ගලීකරණය නොකර, රාජ්‍ය අංශයේම පවත්වාගෙන යාමට හැකිවීම පිළිබඳව ආඩම්බර වන බවද අමාත්‍යවරයා මෙහිදී කීය.

    විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති මෙම අවස්ථාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ, ශ්‍රී ලංකාවේ බලශක්ති උන්නතිය වෙනුවෙන් ලංකාව තුළින්ම තෙල් සහ ගෑස් සම්පත උකහා ගතයුතු බවයි. මෙය ඉතා අනතුරුදායක ක්‍රියාවක් බවත්, එම අනතුරුදායකත්වයට සාර්ථකව මුහුණදුන් ඉන්දුනීසියාව, ඇමරිකාව හා රුසියාව වැනි රටවල් එතුළින් මේ වනවිට සාර්ථක ප්‍රතිඵල ලඟාකරගෙන ඇති බවත් අමාත්‍ය රණවක පැවසීය.