බලශක්ති  ඩිජිටල්කරණය කිරීමේ පරිවර්තනීය ගමන් මඟ ඇරඹෙයි

    March, 20, 2025

    තිරසාර සංවර්ධනය සහ ආර්ථික වර්ධනය සඳහා බලශක්තිය සහ තාක්ෂණය ඒකාබද්ධ කරමින් රට ඩිජිටල්කරණය ඔස්සේ බලගැන්වූ ජාතියක් බවට පරිවර්තනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය  විසින් මේ වනවිට පුළුල් දැක්මක් එළිදක්වා තිබේ. සියලු දෙනා ඇතුළත් වන සහ සමෘද්ධිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා ඩිජිටල්කරණය සහ පුනර්ජනනීය බලශක්ති නවෝත්පාදනයන් උපයෝගී කර ගනිමින් ගෝලීය මට්ටමින් ශ්‍රී ලංකාව ඔසවා තැබීම මෙහි අරමුණයි.

    රටේ ඩිජිටල් අනාගතය පිළිබඳව අවධානය යොමු කිරීමේදී පෙනීයන්නේ,  මෙම පරිවර්තනය හුදෙක් පහසුව සඳහා පමණක් නොව ශ්‍රී ලාංකිකයන් ජීවත් වන, වැඩ කරන සහ තාක්ෂණය සමඟ සම්බන්ධ වන ආකාරයේ මූලික වෙනසක් සිදුකරන්නක් බවයි. ඒ අනුව රජයේ ඩිජිටල්කරණ දැක්ම මූලික උපාය මාර්ගය කුළුණු තුනක් මත ගොඩනගා තිබේ, ඒ අනුව ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI), ඩිජිටල් සාක්ෂරතාවය,  ඩිජිටල් පාලනය සහ විද්‍යුත් සේවා යන ප්‍රධාන සාධක තුන ඔස්සේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය මූලික වශයෙන් සිදු වේ.

    ඒ සඳහා රජයක් වශයෙන් පළමුවෙන්ම සිදු කළ යුත්තේ ඩිජිටල් ආර්ථිකයක කොඳු නාරටිය ගොඩනැගීමයි.ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීමේ කාර්‍ය සඳහා ශක්තිමත් ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) පද්ධතියක පැවැත්ම අත්‍යවශ්‍යවන අතර සියලුම පුරවැසියන්ට වේගවත්, විශ්වාසදායක සහ දැරිය හැකි මුදලකට  ඩිජිටල් සේවාවන් වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව ගොඩනැගීම වෙනුවෙන් වර්තමාන ආණ්ඩුව විසින් අධිවේගී Broadband, Cloud තාක්ෂණයන් සහ Data centers සඳහා වැඩි වශයෙන් ආයෝජන සිදුකරමින් සිටියි. එමඟින් තාක්‍ෂණය මත පදනම් වූ ආර්ථිකයක් වෙනුවෙන් අඩිතාලම සැකසෙන අතරම ව්‍යාපාරයන්ට මෙන්ම සහ තනි පුද්ගලයින්හට ද ගෝලීය වශයෙන් බද්ධ වූ ආර්ථික පරිසරයක් වෙත පරිවර්තනය වීමේ අවකාශය ලබාදීම අපේක්ෂා කරයි.

    ඩිජිටල් යටිතල පහසුකම් වලට අමතරව, නාගරික සහ ග්‍රාමීය ප්‍රජාවන් අතර ඩිජිටල් සාක්ෂරතාවේ පවතින හිඩැස පියවීම වෙනුවෙන් රජය විසින් ඩිජිටල් සාක්ෂරතාවය සහ සියලු දෙනා ආවරණය වන පද්ධතියක් නිර්මාණය කිරීමට ප්‍රමුඛත්වය ලබා දී ඇත. ඒ ඔස්සේ ඩිජිටල් ආර්ථිකයට යෝග්‍යවන කුසලතා සහිත පුරවැසියන් නිර්මාණය කිරීම  සඳහා නව පුහුණු වැඩසටහන් සහ ප්‍රතිපත්ති හඳුන්වා දීමට මේ වන විටත් වර්තමාන රජය කටයුතු අරඹා ඇත.

    බලශක්ති  ඩිජිටල්කරණය කිරීමේ පරිවර්තනීය ව්‍යාපෘතියට ආරම්භක පියවර තබමින් මහජන සේවාවන් නවීකරණය කිරීම අරමුණු කරගත් ඩිජිටල් පාලනයක් සහ ඊ-සේවා ඔස්සේ කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ මහජන ප්‍රවේශය සහිත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීමට රජය මේ වනවිට සැලසුම් කරමින් තිබේ. එමඟින් පුරවැසියන්ට රාජ්‍ය සේවාවන් සමඟ බාධාවකින් තොරව ගණුදෙනු කිරීමට ඉඩ සැලසෙන අතරම, නිලධාරිවාදය අවම කර සමස්ත සේවා සැපයීමේ ක්‍රියාවලිය කාර්‍යක්ෂම කරනු ඇත.

    රට පුරා broadband සම්බන්ධතාවන් පුළුල් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) පවතින යටිතල පහසුකම් සහ එහි ෆයිබර්-ඔප්ටික් ජාලය, බෙදාහැරීමේ කුළුණු උපයෝගී කර ගැනීමට ද රජය බලාපොරොත්තු වේ. එමඟින් රට පුරා සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි ඩිජිටල් සාක්ෂරතාව සහ ඩිජිටල් භාවිතය වර්ධනය කිරීමත්, සියලුම පුරවැසියන් ඩිජිටල් ආර්ථිකයට සක්‍රීයව දායක කරගැනීමත් අරමුණු වේ.

    බලශක්ති පරිවර්තනය තුළින් ඩිජිටල් අනාගතය බලගැන්වීමේ දී මූලික වශයෙන්  ඩිජිටල් ආර්ථිකයේ සාර්ථකත්වය එහි බලශක්ති අංශයේ නවීකරණය සමඟ සමීපව බැඳී තිබෙන බව වර්තමාන රජය හඳුනාගෙන ඇත.ඒ අනුව තිරසාර බලශක්ති පද්ධතියක් සහ ඩිජිටල් පරිවර්තනයක් වෙනුවෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම පරිවර්තනීය වෙනස උදෙසා කටයුතු කරමින් තිබේ.

    ඩිජිටල් සේවාවන් සඳහා ස්ථාවර හා කාර්යක්ෂම බල සැපයුමක් ලබාදෙන Smart Connection, පුනර්ජනනීය බලශක්ති විසඳුම් සහ බලශක්ති ගබඩා තාක්ෂණයන් සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියට ආරම්භයක් ලබාදෙමින් සිදුකිරීමට නියමත අතර  Smart Cities, electric mobility වැනි නැගී එන ඩිජිටල් කර්මාන්තයන් වඩාත් සක්‍රීය කිරීම සඳහා ඉතා වැදගත් වනු ඇත.

    ඩිජිටල් ආර්ථික සැලැස්මේ  ප්‍රධාන කොටසක් ලෙස, 2030 වන විට ළඟාකරගත යුතු ප්‍රධාන ඉලක්ක අතර ග්‍රාමීය සහ අඩු පහසුකම් සහිත ප්‍රදේශවලට broadband සේවා ප්‍රවේශ වීමේ ධාරිතාව පුළුල් කිරීම,පොදු සේවා සහ යටිතල පහසුකම් සඳහා ස්මාර්ට් තාක්ෂණයන් ඒකාබද්ධ කිරීම,ඩිජිටල් සහ බලශක්ති තාක්ෂණයන්හි පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කිරීම යන කාර්‍යන් ප්‍රමුඛ තැනක් ගනියි.

    රජයේ මෙම දැක්ම හුදෙක් වර්තමාන ආණ්ඩුවට පමණක් තනිව සාක්ෂාත් කරගත නොහැකි අතර රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, විෂය ප්‍රවීණයන් සහ පුරවැසියන් යන සියලු පාර්ශයන්ගේ සහයෝගීත්වයෙන් සපුරාගත ගතයුතු ඉලක්කයකි.

    “බලශක්ති තාක්ෂණයන් සහ ස්මාර්ට් විසඳුම් සංවර්ධනය කිරීමේදී පෞද්ගලික අංශයේ කාර්යභාරය අත්‍යවශ්‍යයි, මේ නිසා ශ්‍රී ලංකාව ඩිජිටල් සහ බලශක්ති පරිවර්තනයේ ප්‍රමුඛයා බවට පත්වන අනාගතයක් ගොඩනැගීම සඳහා  ව්‍යාපාර සහ ව්‍යවසායකයින්හට මෙම වැඩපිළිවෙල සමඟ එක්වන ලෙස විවෘත ආරාධනා කර සිටිනවා.” ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා  මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.

    ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් තීරණාත්මක පරිවර්තනයකට ලක්වෙමින් තිබෙන   මොහොතක, ඩිජිටල් සහ බලශක්ති අංශවල උපායමාර්ගික ආයෝජන මගින් රටේ ආර්ථික, සාමාජීය සහ තාක්ෂණික ක්ෂේත්‍රයන්ගේ පුනරුදයක් සිදුවනු ඇතැයි රජය විශ්වාස කරන අතර මෙම ප්‍රධාන ක්ෂේත්‍ර දෙක ඒකාබද්ධ කිරීමෙන්, ශ්‍රී ලංකාව කලාපීය ප්‍රමුඛයෙකු ලෙස ස්ථාපිත කිරීම පොහොසත් රටක් වෙනුවෙන් කැපවෙන් සැමගේ අපේක්ෂාවයි.