February, 20, 2026
මෝටර් වාහන පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදන 2ක් සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය පසුගියදා හිමිවිය.
(203 අධිකාරිය වූ) මෝටර් වාහන පනත යටතේ අංක 2463/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රියදුරු බලපත්‍ර අයභාර නියෝග සංශෝධනය කිරීමට අදාළ නියෝග සහ අංක 2467/52 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රියදුරු බලපත්රවලංගු කාලය දීර්ඝ කිරීමට අදාළ නියෝග සඳහා මෙසේ අනුමතිය හිමිවිය.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.02.17 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම අනුමතිය ලබාදීම සිදුවිය. මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන සහ එරංග ගුණසේකර යන මහත්වරු ද සහභාගි වූහ.
තවද, ප්‍රවාහන ක්ෂේත්රයට අදාළ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා පිහිටුවන ලද අනුකාරක සභා දෙකක වාර්තා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කිරීම ද මෙහිදී සිදුවිය.
අවිධිමත් ප්‍රවාහන කර්මාන්තය හා සම්බන්ධ වෘත්තිකයින්ගේ වෘත්තිය සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති අනුකාරක සභාවේ වාර්තාව එහි සභාපති ගරු නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්. දිනිඳු සමන් හෙන්නායක මහතා විසින් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන ලදී. පුද්ගලික බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන්, ත්‍රීරෝද රථ රියදුරන් සහ ඉලෙක්ට්‍රොනික යෙදවුම් හරහා ප්‍රවාහන ක්ෂේත්රය තුළ නියැලී සිටින්නන් (App Based Workers) වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ (ETF) දායකත්වය ලබා දීම ඇතුළු නිර්දේශ ගණනාවක් මෙම වාර්තාවේ ඉදිරිපත් කර තිබේ.
ප්‍රවාහන කර්මාන්තය හා බැඳි අතිරේක සේවා නිර්මාණය කිරීම සඳහා ව්‍යාපෘති මාදිලි (Business Models) සැකසීම වෙනුවෙන් පිහිටුවන ලද අනුකාරක සභාවේ වාර්තාව, එහි සභාපති නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා විසින් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන ලදී.
අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද වාර්තා පරීක්ෂා කර ඒවායේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතිවරයා පැවසීය.
තවද රටේ විවිධ ප්‍රදේශවල ප්‍රවාහන අංශයේ සහ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල ඇති අඩුපාඩු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කමිටුවේ අවධානයට යොමු කළහ. මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූහ.
Video Story