බ්‍රවුන්ස් හයිඩ්‍රො පවර් අයිතිය විකුණන්න සෙන්තිල්වේල් බැහැ කියයි

    July, 18, 2016

    ලෝටස් රිනිවබල් එනර්ජි සමාගම විසින් පසුගිය සතියේ දී බ්‍රවුන්ස් හයිඩ්‍රො පවර් සමාගමේ බහුතර කොටස් අයිතිය තහවුරු කර ගැනීමත් සමගම ලෝටස් රිනිවබල් එනර්ජි සමාගම විසින් මේ වන විට අනිවාර්යය අර්පණයක් (Mandatory Offer) නිකුත් කොට තිබේ. ඒ 1995 (2003 සංශෝධිත) ව්‍යාපාර අත්පත් කරගැනීමේ හා ඒකාබද්ධ කිරීමේ කොළඹ කොටස් වෙළෙඳපොළ අංක 7 දරණ නියාමනයන්ට අනුකූලවය.

    බ්‍රවුන්ස් හයිඩ්‍රො පවර් සමාගමේ කොටස් 78,690,212 ක් රු. 7.00 බැගින් පසුගිය ජූලි 13 වන දින ලෝටස් රිනිවබල් සමාගම විසින් මිල දී ගනු ලැබීය. එය සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 72.13% කි. සමාගමේ ඉතිරි කොටස් 30,397,900 හෙවත් 27.87% ක කොටස් හිමිකාරීත්වය මිල දී ගැනීම සඳහා ද ලෝටස් රිනිවබල් එනර්ජි සමාගම මේ වන විට අනිවාර්ය අර්පණයක් නිකුත් කර තිබේ. ඒ කොටසකට රු. 7.00 බැගිනි.

    කෙසේ වෙතත් බ්‍රවුන්ස් හයිඩ්‍රො පවර් හි කොටස් 13,328,770 කට හිමිකම් කියනු ලබන ආචාර්ය ටී. සෙන්දිල්වේල් මහතා දැනුම් දී තිබෙන්නේ සිය කොටස් අයිතිය අලෙවි කිරීම සඳහා තමාගේ අදහසක් නොමැති බවයි. ආචාර්ය සෙන්තිල්වේල් මහතා බ්‍රවුන්ස් හයිඩ්‍රො පවර් සමාගමේ දෙවැනියට විශාලතම කොටස්කරුවා වන අතර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වේ.