July, 16, 2020
බ්‍රැන්ඩික්ස් සමාගම අඛණ්ඩව 10 වන වරටත් මෙරට පුද්ගලික අංශයේ විශාලත ම ලේ දන් දෙන ආයතනය ලෙස ජාතික රුධිර පාරවිලයන සේවාව (NBTS) මගින් ලෝක ලේ දන් දීමේ දිනයේදී ඇගයුමට ලක් කෙරිණි. 2019/20 කාලය තුළ එම සමූහයේ සාමාජික-සාමාජිකාවන් විසින් රුධිරය පයින්ට් 3,500 කට අධික ප්‍රමාණයක් ලබා දී ඇත.
එම සුවිශේෂී දායකත්වය ඇගයුමට ලක් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ යන මහත්වරුන් විසින් බ්‍රැන්ඩික්ස් සමාගමට විශේෂ ඇගයුම් ඵලකයක් පිරිනැමූ අතර එම සමාගම වෙනුවෙන් එහි මානව සම්පත් අංශයේ ජ්‍යෙෂ්ඨ සාමන්‍යාධිකාරී සුජිත් ජයසේකර මහතා එය පිළිගත්තේය.
"සෑම වසරකම මෙරට ජාතික ලේ දන් දීමේ කර්තව්‍යයට කැපීපෙනෙන දායකත්වයක් ලබා දීමට අපට හැකි වී තිබෙන්නේ අප සහ ජාතික රුධිර පාරවිලයන සේවය අතර ඇති දිගුකාලීන සබඳතාව නිසයි. අඛණ්ඩව 10 වන වරටත් මෙරට ආයතනික ක්ෂේත්‍රයේ විශාලත ම ලේ දන් දෙන්නා බවට පත් වීමට හැකි වීම අප ගෞරවයක් සේ සලකනවා. මෙම වැඩසටහන දියත් කරන්නේ, තවත් ජීවිතයක් රැක ගැනීමේ දැක්මෙන් යුතුව ලේ දන් දෙන අපගේ සාමාජික-සාමාජිකාවන්වන අතර ඔවුන් මෙම සද් කාර්යය සඳහා දක්වන කැපවීම තවත් පිරිසකට මේ සඳහා දායකත්වය ලබා දීමට මනා උත්ප්‍රේරකයක් වනවා. පරාර්ථකාමී චින්තනයෙන් යුතුව සමාජය තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීමේ අරමුණින් කටයුතු කරන සැබෑ ප්‍රබෝධමත් පිරිසකගෙන් සැදුම්ලත් පවුලක් අප සතු බව මෙමඟින් තවදුරටත් පිළිබිඹු වනවා. ඔවුන් සමඟ කටයුතු කිරීමට ලැබීම අප ගෞරවයක් සේ සලකනවා," යනුවෙන් බ්‍රැන්ඩික්ස් සමූහයේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී ඉෂාන් දන්තනාරායන මහතා සඳහන් කළේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, ජාතික රුධිර පාරවිලයන සේවයේ ඉල්ලුම සපුරාලීම සඳහා අඛණ්ඩව මෙවැනි පරිත්‍යාග සිදු වීම අත්‍යවශ්‍ය බවය. "බ්‍රැන්ඩික්ස් සමූහය මෙරට විවිධ පළාත් තුළ ව්‍යාප්තව ඇති බැවින් දිවයින පුරා බොහෝ ප්‍රදේශයන්හි රුධිර සැපයීම අඛණ්ඩව පවත්වා ගැනීමට ජාතික රුධිර පාරවිලයන සේවයට හැකි වී තිබෙනවා. වසර 10 ක් පුරා මෙම සද් කාර්යයට සම්බන්ධ වුණු බ්‍රැන්ඩික්ස් සමාගමට සිය ස්තූතිය පළ කරන අතර එම සාමගමෙන් ඉදිරියේදී ද මෙම දායකත්වය බලාපොරොත්තු වනවා," යනුවෙන් ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
බ්‍රැන්ඩික්ස් ලේ දන් දීමේ වැඩසටහන යනු ජාතික රුධිර පාරවිලයන සේවය සමඟ අත්වැල් බැඳ ගනිමින් වාර්ෂිකව දියත් කෙරෙන වැඩසටහනක්වන අතර වසර 13 ක් පුරා එම සබඳතාව යටතේ බ්‍රැන්ඩික්ස් සමාගම මේවන විට ලබා දී ඇති රුධිරය ප්‍රමාණය පයින්ට් 36,000 ඉක්මවයි. ශීඝ්‍රයෙන් වර්ධනය වන, හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය රුධිරය ලබා ගැනීමේ ඉල්ලුම සපුරාලීම සඳහා සති අන්ත වෙනුවට සතියේ දිනවල මෙම වැඩසටහන් දියත් කිරීමට බ්‍රැන්ඩික්ස් සමාගම පියවර ගෙන ඇත. එමගින්, දින පහක ජීව කාලයක් ඇති රුධිර පට්ටිකාවල කල් ඉකුත් වීමට පෙර එම සතිය තුළදී ම ප්‍රයෝජනයට ගැනීමට හැකි වේ.
සේයා රූ සටහන: 'ශ්‍රී ලංකාවේ පුද්ගලික ක්ෂේත්‍රයේ විශාලත ම ලේ දෙන ආයතනය' බවට බ්‍රැන්ඩික්ස් සමාගම පත්වීම පිළිබඳ ඇගයුම් ඵලකය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් එම සමාගමේ මානව සම්පත් අංශයේ ජ්‍යෙෂ්ඨ සාමන්‍යාධිකාරී සුජිත් ජයසේකර මහතා වෙත බාර දුන් මොහොත. ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ද ඡායාරූපයේ වෙයි.
Video Story