බ්‍රැන්ඩික්ස් ජනාධිපති අපනයන සම්මාන 08 කින් පිදුම් ලබයි

    December, 17, 2015

    මෙරට අපනයන ආර්ථීකය වෙනුවෙන් සුවිශාල දායකත්වයක් දක්වන ශ්‍රී ලංකාවේ ඇඟලූම් අපනයනයේ විශාලතම තනි සමාගම් සමූහය වන බ්‍රැන්ඩික්ස් වෙත, පසුගිය දා පැවති ජනාධිපති අපනයන සම්මාන උළලේදී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති අපනයන සම්මාන 08 ක් පුද කරන ලදී.

    මේ අනුව, 2012 සහ 2013 වසර වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරු සම්මානය මෙම උත්සවයේදී බ්‍රැන්ඩික්ස් වෙත හිමිවූ අතර මේ වසර දෙකේ දේශීය ඇඟළුම් ක්ෂේත්‍රයේ හොඳම අපනයනකරු සම්මානද හිමිවූයේද බ්‍රැන්ඩික්ස් සමූහයටයි. මීට අමතරව, අපනයන කර්මාන්තයේ වැඩිම ශුද්ධ විදේශ විනිමය ඉපැයීම සහ වැඩිම රැකියා සම්පාදනය වෙනුවෙන් 2012 සහ 2013 වසරට අදාළව විශේෂ සම්මාන 04 ක්ද මෙහිදී බ්‍රැන්ඩික්ස් වෙත පිරිනැමුණි.

    වසර ගණනාවකට පසුව සංවිධානය කර තිබුණු මෙම ගෞරවණිය වැඩසටහන දෙසැම්බර් 16 වන බදාදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් විසින් බ්‍රැන්ඩික්ස් වෙත මෙම සම්මාන පිරිනමන ලද්දේ සියළුම අංශ වලදී වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගත් සමාගමක් බවට බ්‍රැන්ඩික්ස් පත් කරමිනි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණු මේ වසරේ වැඩසටහන මගින් 2010, 2011, 2012 සහ 2013 වසර වලදී අපනයන කාර්යසාධනය ඇගයීමට ලක්විය.

    “නව තාක්ෂණය, නවෝත්පාදනය සහ පරිසර හිතකාමී නිෂ්පාදන කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් අඛණ්ඩව ආයෝජනය කරනවා. මේ තුළින් සමූහය නිරන්තරයෙන් අගය එකතු කරමින් ශ්‍රී ලංකාවේ ඇඟලූම් කර්මාන්තය ලෝක වෙළඳ පොළ තුළ වඩාත් තරගකාරීව පත්වාගෙන යාමට සහයෝගය ලබාදී තිඛෙනවා“, යනුවෙන් බ්‍රැන්ඩික්ස් ප්‍රධාන විධායක නිළධාරී, අෂ්රොෆ් ඕමාර් මහතා පැවසීය.

    ඕමාර් මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය. “ජනාධිපති සම්මාන 08 ක් ජයග්‍රහණය කිරීම තුළින් අපි අතිශය සතුටට පත්වුණා. මින් සම්මාන 06 ක් සමස්ත අපනයන කර්මාන්තය වෙනුවෙන් ලැබීම කැපී පෙනෙනවා.“

    බ්‍රැන්ඩික්ස් වෙත මේ වසරේදී හිමිවූ ජනාධිපති අපනයන සම්මාන 08 සමග අපනයන කාර්ය සාධනය වෙනුවෙන් සමූහය දිනා ඇති සම්මාන සංඛ්‍යාව 14 ක් බවට පත්වේ. අපනයන කාර්ය සාධනය සම්බන්ධ ජාතික සම්මාන (NAEE) ලෙසින් පෙර හැඳින්වූ මෙම සම්මාන 2003 වසරේ සිට ජයග්‍රහණය කිරීමට බ්‍රැන්ඩික්ස් සමත්ව ඇත. 2003 වසරේදී අපනයන සංවර්ධන මණ්ඩලය වෙතින් මෙරට විශිෂ්ටතම අපනයනකරුවා සහ ඇඟලූම් අංශයේ හොඳම අපනයනකරුවා ලෙසින් පළමු වරට බ්‍රැන්ඩික්ස් සම්මානයට පාත්‍රවිය.

    මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී අපනයන ක්ෂේත්‍රයේ ජයග්‍රාහකයින් අමතා කතා කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය විසින් බ්‍රැන්ඩික්ස් ප්‍රධාන විධායක නිලධාරීවරයාට විශේෂ ආරාධනාවක් කර තිබුණි.

    ඡායාරූපය - ජනාධිපති අපනයන සම්මාන උළෙලට සහභාගී වූ බ්‍රැන්ඩික්ස් කණ්ඩායමේ නියෝජිතයින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනල සහ සූජීව සේනසිංහ සහ මලික් සමරවික්‍රම යන ඇමතිවරුන් සමඟ.