December, 14, 2015
ඇඟලූම් අපනයනයේ මෙරට දැවැන්තයා වන බ්‍රැන්ඩික්ස් සමූහයේ නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලට ලංකා ගොඩනැගිලි ආයතනය (CIOB) විසින් ‘ග්‍රීන් මාර්ක් - ප්ලැටිනම්‘ සහතිකය පිරිනමා තිඛෙන අතර හරිත ගොඩනැගිලි ඇගයීම සඳහා සිංගප්පූරුවේ ගොඩනැගිලි ඉදිකිරීමේ අධිකාරිය (BCA) විසින් නිර්මාණය කළ මෙම වර්ගීකරණය හිමිවූ මෙරට පළමු වාණිජ ගොඩනැගිල්ල මෙයයි.
මෙම සංධිස්ථානාත්මක සම්මානය බ්‍රැන්ඩික්ස් වෙත විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් පුදකළ අතර මාසයක් තුළදී මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් පිරිනැමුණු දෙවන සම්මානය මෙය වේ. 2015 ශ්‍රී ලංකා ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන ප්‍රදානයේදී මහා පරිමාණයේ වාණිජ ගොඩනැගිලි කාණ්ඩය යටතේ රන් සම්මානය දිනා ගැනීමට ගෙවුණු නොවැම්බර් මාසයේදී මෙම ගොඩනැගිල්ල සමත්විය.
ග්‍රීන් මාර්ක් සහතිකකරණය ලබාදීම සඳහා පරිසරයට සම්බන්ධ ප්‍රධාන දර්ශක 04 ක සාර්ථකත්වය පිළිබඳව අවධානය යොමුකරයි. බ්‍රැන්ඩික්ස් වෙත ග්‍රීන් මාර්ක්- ප්ලැටිනම් සහතිකකරණය ලබාදීමේදී මෙම ගොඩනැගිල්ලේ බලශක්ති කාර්යක්ෂමතාවය, ජල කාර්යක්ෂමතාවය, තිරසාර මෙහෙයුම් සහ නඩත්තු කිරීම, අභ්‍යන්තර පරිසර ගුණාත්මක තත්ත්වය සහ අනිකුත් හරිත උපාංග සහ නවෝත්පාදනයන් සැලකිල්ලට ගෙන තිබේ.
මෙම වැඩසටහනේ ඉහළම ඇගයීම වන ප්ලැටිනම් සහතිකකරණය ලබාගැනීම සඳහා ලැබිය යුතු ලකුණු 90 කට වැඩි ප්‍රමාණයක් ලබාගැනීමට මෙම ගොඩනැගිල්ල සමත්වී තිබීම කැපී පෙනේ.
“තිරසාරත්වය වෙනුවෙන් සමාගමේ තිඛෙන දැඩි කැපවීම පෙන්වීම සඳහා අපගේ නව මූලස්ථාන ගොඩනැගිල්ල කදිම නිදසුනක්“, යනුවෙන් මෙම නව ගොඩනැගිල්ල පිළිබඳව අදහස් දක්වමින් බ්‍රැන්ඩික්ස් අධ්‍යක්ෂ ෆෙරෝස් ඕමාර් මහතා පැවසීය. “පරිසරයට සිදුවන හානිය වැලැක්වීම සඳහා නවීනතම තාක්ෂණය මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේදී යොදාගෙන තිඛෙනවා. මාසයක් තුළ සම්මාන දෙකක් දිනාගැනීම මගින් පෙන්වන්නේ ශ්‍රී ලංකාවේ හරිත කාර්යාල ගොඩනැගිලි සඳහා මෙම ගොඩනැගිල්ල නව මිණුම් ලකුණක් වී තිඛෙන බවයි.“
2015 මාර්තු 01 වනදා විවෘත කරන ලද තට්ටු අටකින් සමන්විත වන වර්ග අඩි 37,800 ක් වන බ්‍රැන්ඩික්ස් මූලස්ථාන ගොඩනැගිල්ලේ වායු සමීකරණක කර ඇති ප්‍රදේශය වර්ග අඩි 29,783 කි.
මෙම නව ගොඩනැගිල්ල ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී මුරාඩ් ස්මයිල් මහතා විසින් නිර්මාණය කළ එකක් වන අතර 200 ක පමණ පිරිසකට මෙහි ඉඩ පහසුකම් තිබේ. මෙම ගොඩනැගිල්ලේ පිටත සඳහා යොදාගෙන තිඛෙන ඉබේම පිරිසිදු වන ගුණයෙන් යුක්ත සුවිශේෂී වීදුරු තුළින් සූර්යා ලෝකය වැඩිපුර ගොඩනැගිල්ල තුළට ලබාගැනීමටත්, ස්මාර්ට් පද්ධතියක් මගින් LED අලෝකකරණය පාලනය කිරීමේ පහසුකම්, ඉහළම බලශක්ති කාර්යක්ෂමතාවයෙන් යුක්ත ජලය ශීත කිරීම මගින් ක්‍රියාත්මක වන වායු සමීකරණ පද්ධතියක් මෙම ගොඩනැගිල්ල තුළ අන්තර්ගත වේ.
ඇමරිකාවේ සහ යුරෝපයේ ප්‍රධාන පෙළේ සන්නාම සඳහා ඇඟලූම් සපයන විශාලතම සමාගම් සමූහයක් වන බ්‍රැන්ඩික්ස් පරිසර හිතකාමී නිෂ්පාදන කටයුතු සහ පරිසර යහ පුරුදු සඳහා කැපවීම වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන දිනා තිඛෙන අතර ඒ සඳහා මිණුම් ලකුණක්ද වේ. මීට අමතරව, ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සලය (GBCSL) විසින් හරිතකරණය වෙනුවෙන් කැපවූ ශ්‍රී ලාංකේය සංවිධානය ලෙසද බ්‍රැන්ඩික්ස් 2014 වසරේදී ඇගයීමට ලක් කළේය.
බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂ, ඩේව් රණසිංහ මහතා (වමේ සිට දෙවැන්නා) සහ බ්‍රැන්ඩික්ස් සමූහයේ ව්‍යාපෘති කළමනාකරු, අහමඩ් ඉල්තිමාස් මහතා (වමේ සිට කෙළවරේම) විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අතින් ග්‍රීන් මාර්ක්- ප්ලැටිනම් සම්මානය ලබාගත් අවස්ථාව.
Video Story