බ්‍රැන්ඩික්ස් ශ්‍රී ලංකාවේ ඉහළම LEED Platinum ශ්‍රේණිගත කිරීමට හිමිකම් කියයි

    April, 1, 2019

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඇඟළුම් නිෂ්පාදන සමාගමක් වන බ්‍රැන්ඩික්ස්, පාරිසරික යහපැවැත්ම වෙනුවෙන් නිරන්තරවම අවධානය යොමුකරන සමාගමකි. එම සමාගම් සමූහයේ මඩකළපුව ඇඟළුම් කර්මාන්තශාලාව පසුගියදා LEED Platinum ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛස්ථානය ලබාගැනීමට සමත්ව සිටී. ‘කර්මාන්ත නිෂ්පාදන’ ^Industrial Manufacturing& අංශයෙන් බ්‍රැන්ඩික්ස් සමාගම සිය ගමන් මගෙහි මෙම සුවිශේෂී සංධිස්ථානය සනිටුහන් කරන ලදී. LEED Platinum ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටින්නේද මඩකළපුව බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව වීම තවත් අතකින් බ්‍රැන්ඩික්ස් විශිෂ්ටත්වය ලොවට කියා පායි.

    LEED (බලශක්ති හා පාරිසරික නිර්මාණකරණයෙහි නායකත්වය), යනු ඇමෙරිකා එක්සත් ජනපදයේ හරිත ගොඩනැගිලි කවුන්සිලය (USGBC) විසින් පාරිසරික තිරසාරභාවය වෙනුවෙන් පිරිනමන ජාත්‍යන්තර කීර්තිමත් ශ්‍රේණිගත කිරීමකි. වියදම් අවම කරගනිමින්, වඩාත් ඵලදායී ආකාරයට සෞඛ්‍යයට හිතකර ගොඩනැගිලි ඉදිකර පවත්වාගෙන යන ආයතනයන් වෙත මෙම ශ්‍රේණිගත කිරීම ලබාගැනීමේ හැකියාව පවතී. ඵලදායී බලශක්ති භාවිතය, සුරක්ෂිත ජල භාවිතය සහ විශිෂ්ට අපද්‍රව්‍ය කළමනාකරණය මෙන්ම කාබන් පිටවීම අවම කිරීම යන කරුණු පිළිබඳව බ්‍රැන්ඩික්ස් සමාගම දක්වන උනන්දුව හා කැපවීමද මෙම ශ්‍රේණිගත කිරීමත් සමග අපට පැහැදිලි වේ.

    ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්තශාලා ජාලය අතර විශාලතම කර්මාන්තශාලාව වන්නේ මඩකළපුව බ්‍රැන්ඩික්ස් ඇඟළුම් නිෂ්පාදනායතනයයි. මඩකළපුව ආශ්‍රිතව ජීවත්වන 5,000කට අධික පිරිසකට මෙම කර්මාන්තශාලාව මගින් ජීවිකාව සලසා ගැනීමට අවස්ථාව උදාකර දී තිබේ.

    බ්‍රැන්ඩික්ස් සමාගම ලද මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් එම සමාගමේ ඉංජිනේරු ප්‍රධානී - ඉරේෂ සෝමරත්න මහතා මෙසේ පවසා සිටී. “අප ක්‍රියාත්මක වන්නේ යම් තැනකද, එහි අපගේ මෙහෙයුම් කටයුතු කෙතරම් තිරසාරභාවයෙන් යුක්තව සිදුවෙනවාද යන්න පිළිබඳව LEED Platinum ශ්‍රේණිගත කිරීමට හිමිකම් කීමෙන් පැහැදිලි වෙනවා. බ්‍රැන්ඩික්ස් යනු සැබැවින්ම තිරසාර ඇඟළුම් නිෂ්පාදනායතනයක් බවට මේ තරම් උදාහරණයක් තවත් කුමටද? මෙම ජයග්‍රහණය ලබා ගැනීම වෙනුවෙන් අප විශාල උත්සාහයක් හා කැපවීමක් සිදුකර තිබෙනවා. අප විසින් මෙගා වොට් 8.5 පුනර්ජනනීය බලශක්තියක් නිපදවා තිබෙන අතර, අපගේ ඉලක්කය වන්නේ එය මෙගා වොට් 20 දක්වා වර්ධනය කිරීමයි. දකුණු ආසියානු කලාපයේ වඩාත් තිරසාරභාවයෙන් යුතු ඇඟළුම් නිෂ්පාදකයා වීම අපේ මෙහෙවරෙහි වැදගත් තැනක් ගන්නා කරුණක්. ඒ අනුව අපගේ කර්මාන්තශාලාවන් සඳහා අංක එකේ තිරසාරතා ශ්‍රේණිගත කිරීම් ලබාගනිමින් ලොව ප්‍රථම Net Zero (කාබන් විමෝචන උදාසීන කළ) ඇඟළුම් කම්හල අප සතු කරගැනීමත් අපේ ඉලක්ක අතර ඉදිරියෙන්ම තිබෙනවා.”

    සිය ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලියේ සෑම තැනකදීම තිරසාරභාවය වෙනුවෙන් ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දීම ඇඟළුම් කර්මාන්තයේ විශිෂ්ට ස්ථානයකට පැමිණීමට බ්‍රැන්ඩික්ස් සමාගමට සුවිසල් පදනමක් වී තිබේ. 2008වර්ෂයේදී සීදුව හරිත ඇඟළුම් කර්මාන්තශාලාව පිහිටුවන්නට බ්‍රැන්ඩික්ස් සමාගම කටයුතු කළ අතර, ලොව ප්‍රථමLEED Platinum ශ්‍රේණිගත කිරීම හිමිකරගත් ඇඟළුම් කර්මාන්තශාලාව බවට පත්වෙමින් එය ශ්‍රී ලංකාවට සුවිසල් කීර්තියක් ලබාදීමට සමත් විය. එයින් දශකයක් වැනි කාලසීමාවක් ගතවන වර්තමානය වන විට සිය ඇඟළුම් කර්මාන්තශාලා වෙනුවෙන් LEED සහතිකකරණයන් මෙන්ම තවත් දේශීය සහ ජාත්‍යන්තර සම්මානනීය ඇගයීම් රාශියකින් පිදුම් ලැබීමට බ්‍රැන්ඩික්ස් සමාගම සමත්ව සිටී. 2020 වර්ෂය වන විට සිය නිෂ්පාදන ක්‍රියාවලිය හරහා පරිසරයට කාබන් පිටවීම අවම අගයකට පත්කරවීම බ්‍රැන්ඩික්ස් සමාගමේ අපේක්ෂාවයි.

    ඊට අමතරව බ්‍රැන්ඩික්ස් සමාගම සිය සමාජ සත්කාර මෙහෙවර යටතේ තමන් ක්‍රියාත්මක වන ප්‍රදේශයන්හි සිය සාමාජික පිරිස මෙන්ම අවට ජනයාගේ ජල අවශ්‍යතාවය හා සනීපාරක්ෂක පහසුකම් සම්පූර්ණ කිරීමට කැපවීමෙන් කටයුතු කරමින් සිටී. එම වැඩපිළිවෙළ තව දුරටත් ව්‍යාප්ත කරමින් කැළණි ගංගා නිම්නය ආශ්‍රිතව ජීවත්වන ජනතාවගේ ජීවනෝපාය, ප්‍රජා හා කර්මාන්ත සංවර්ධනය සඳහා මෙන්ම සුරක්ෂිත පානීය ජල අවශ්‍යතාවය තහවුරු කිරීමේ පියවරක් තබා ඇත. Kelani River Multi-stakeholder Partnership ^KRMP& යනුවෙන් නම්කර තිබෙන එම ව්‍යාපෘතිය තවත් පාර්ශවකරුවන් කිහිපදෙනෙක් හා එක්ව දියත්කර තිබේ.