බ්‍රැන්ඩික්ස් සමාජ සත්කාරයෙන් 2015-16 වසරේදී දිස්ත්‍රික්ක 18ක ජල ව්‍යාපෘති 367 ක්

    June, 21, 2016

    මෙරට ඇඟලූම් අපනයනයේ විශාලතම තනි සමාගම් සමූහය වන බ‍්‍රැන්ඩික්්ස් විසින් දියත් කර තිබෙන ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජල පහසුකම් වැඩිදියුණු කිරීමේ සමාජ සත්කාර වැඩසටහන යටතේ 2015-16 වසර තුළදී ජල සැපයුම් ව්‍යාපෘති 367 ක් සම්පූර්ණ කර ඇත.

    මේ අනුව, ලිං, නල ජල සම්බන්ධතා, ජල සැපයුම් පද්ධති, නළ ලිං, ගැඹුරු නළ ලිං, වැසි ජලය එකතු කිරීමේ පද්ධති සහ ජල පෙරණ මෙම මාස 12 ක කාලය තුළදී සමූහය විසින් ජනතාවට ලබාදුන් අතර මෙම සියළු ව්‍යාපෘති සඳහා අරමුදල් සපයනු ලැබුවේ සමූහයේ ‘මෙහෙවරට දියවර’ වැඩසටහන මගිනි.

    මෙම ව්‍යාපෘති මගින් මෙරට දිස්ත‍්‍රික්ක 18 ක ජනතාවට ප‍්‍රතිලාභ ලැබුණු අතර අනුරාධපුරය, පොලොන්නරුව, මඩකලපුව, අම්පාර, හම්බන්තොට, මාතර, මොණරාගල, පුත්තලම සහ බදුල්ල යන දිස්ත‍්‍රික්ක මේ අතර විය.

    මෙම සෑම ජල සැපයුම් ව්‍යාපෘතියකම මූලික ප‍්‍රතිලාභියා සමාගමේ සාමාජිකයෙකු වූ අතර මෙම දුෂ්කර ප‍්‍රදේශ වලට ජලය සම්පාදනය කළ යුතුයැයි හඳුනාගනු ලැබුවේ අදාළ සාමාජිකයා ඇසුරෙනි. මෙහිදී, කැපී පෙනෙන්නේ ලබාදුන් ජල සම්පාදන ව්‍යාපෘති වලින් වැඩි ප‍්‍රමාණයක් එම ගම්මානයේ ජලය සපයා ගැනීමට දුෂ්කර තවත් බොහෝ පිරිසකටද සෙත සැලසෙන පරිදි හවුලේ සහයෝගයෙන් භාවිතා කිරීමයි.

    මේ ආකාරයෙන් මෙම ව්‍යාපෘති සහයෝගයෙන් භාවිතා කිරීම පිළිබඳ කදිම උදාහරණයක් වන්නේ මඩකළපුව දිස්ත‍්‍රික්කයේ වාසය කරන ගෝපාලපිල්ලෙයි ගජෙන්තිනී සහ රාජේන්ද්‍රන් පුෂ්පමලර් යන කාන්තාවන් දෙදෙනායි. මෙම දෙදෙනාට බ‍්‍රැන්ඩික්ස් සමූහයෙන් ළිඳක් බැගින් ලැබී තිබෙන අතර සිය මව සහ සහෝදර සහෝදරියන් හතර දෙනෙකු සමග වාසය කරන ගජෙන්තිනී තවත් පවුල් හතක් සමග එම ළිඳ සහයෝගයෙන් භාවිතා කරයි. මීට අමතරව, තම දෙමව්පියන් සහ දරුවන් දෙදෙනා සමග ජීවත්වන පුෂ්පමලර් විසින්ද තමන්ට ලැබුණු ළිඳ අසල්වාසී පවුල් දහයක් සමග සහයෝගයෙන් භාවිතා කරයි.

    ‘‘බලධාරීන් විසින් මෙම මූලික අවශ්‍යතාවය ලබාදීමට පියවර ගනිමින් සිටියද බොහෝ ග‍්‍රාමීය ප‍්‍රදේශවල පිරිසිදු ජලයට තිබෙන ප‍්‍රවේශය තවමත් විශාල ප‍්‍රශ්නයක් වී තිබෙනවාල’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් බ‍්‍රැන්ඩික්ස් සමූහයේ සමාජ සත්කාරක සහ ආයතනික සන්නිවේදන ප‍්‍රධානී අනුෂා අලස් මහත්මිය පැවසුවාය. ‘‘පසුගිය වසර දහය මුළුල්ලේ ‘මෙහෙවරට දියවර’ වැඩසටහන යටතේ බ‍්‍රැන්ඩික්ස් ජල ව්‍යාපෘති 3000 කට වැඩි සංඛ්‍යාවක් ජනතාවට ලබාදී තිබෙනවා. කෙසේවෙතත්, ඉදිරි වසර වලදීත් අවශ්‍යතා තිබෙන පවුල් හඳුනා ගනිමින් උදව් කිරීමට අප සමාගම සූදානම්.’’

    2015-16 බ‍්‍රැන්ඩික්ස් ‘මෙහෙවරට දියවර’ වැඩසටහන යටතේ වැඩිම ප‍්‍රතිලාභ ලැබූ දිස්ත‍්‍රික්කය බවට පත්වූ රත්නපුර දිස්ත‍්‍රික්කය සඳහා මෙවැනි ජල ව්‍යාපෘති 63 ක් ලැබුණු අතර පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට ජල ව්‍යාපෘති 60 ක්ද කුරුණෑගල දිස්ත‍්‍රික්කයට ව්‍යාපෘති 57 ක්ද කෑගල්ල දිස්ත‍්‍රික්කයට ව්‍යාපෘති 55 ක්ද ගම්පහ දිස්ත‍්‍රික්කයට ව්‍යාපෘති 35 ක්ද ලැබී තිබේ. ඉදිරි මූල්‍ය වසර තුල මෙම වැඩසටහන යටතේ ප‍්‍රතිලාභ ලබන බ‍්‍රැන්ඩික්ස් සාමාජිකයින් තෝරා ගැනීමට සම්මුඛ පරීක්ෂණ ජූලි මාසයේ අරඹන බව සමූහය පවසයි.

    මෙම ව්‍යාපෘති වලට අමතරව පසුගිය වසරවල දැවැන්ත ජල ප‍්‍රශ්නයකට මුහුණදුන් ප‍්‍රදේශ සහ ආයතන වෙනුවෙන් විශාල ප‍්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති ඉදිකිරීම සඳහා බ‍්‍රැන්ඩික්ස් සමූහය වෙනත් ආයතනික පාර්ශවකරුවන් සමග ඒකාබද්ධව කටයුතු කළේය.

    මීට අමතරව, ශ‍්‍රී ලංකාවේ ජල අංශයේ ප‍්‍රජා මූලික සංවිධානවල කාන්තා නායකයික් වෙනුවෙන් ජලවාහිනී නමින් අධ්‍යාපනික වැඩසටහන් මාලාවක්ද බ‍්‍රැන්ඩික්ස් සමූහය විසින් පවත්වන අතර මේ සඳහා රාජ්‍ය ආයතන සහ මෙවැනි සත්කාර සඳහා කැමැත්තක් දක්වන පුද්ගලික අංශයේ පාර්ශවකරුවන් දායකත්වය ලබාදේ.

    බ‍්‍රැන්ඩික්ස් සමූහයේ ප‍්‍රධාන ආයතනික සමාජ සත්කාරක ක‍්‍රියාකාරකම් වලට මූලික ආයතනික තේමාව ‘ජලය’ වන අතර ජල සම්පත වැඩිකර ගැනීමට දිගු කාලීනව කැපවීම මෙන්ම අත්‍යවශ්‍යම පිරිස් වලට සුරක්ෂිත පානීය ජලය සැපයීමද එහි අරමුණු අතර වේ. මෙම ව්‍යාපෘති සැලසුම් කර ක‍්‍රියාත්මක කරන්නේ සමූහයේ සමාජ සත්කාරක අංශය වන ‘බින්දු’ පදනම විසිනි. සමූහයේ සමාජ සත්කාරක වැඩසටහන් අතර සිය කර්මාන්ත ශාලා තුළ හා ඒ වටා සිටින ජල ගැටලූ සහිත ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම හා අවශ්‍ය ප‍්‍රදේශවල සනීපාරක්ෂක කටයුතු නැංවීම සිදු කරනු ලැබේ.