බ්‍රැන්ඩික්ස් හි Fusion Apparel ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම්ගත වෙයි

    January, 9, 2025

    බ්‍රැන්ඩික්ස් සමාගමට අනුබද්ධිත Fusion Apparel සමාගම ඇගලුම් නිෂ්පාදනයේ මැහුම් රහිත මැලියම් බන්ධිත ඇගලුම් නිෂ්පාදනයට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම් ගත වේ.

    බ්‍රැන්ඩික්ස් සමාගමේ හවුල්කාර සමාගමක් වන FUSION APAREL (PVT) LTD ආයතනය නව ඇඟලුම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමක් අත්සන් කළේය. නව ආයෝජනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1.06 කි.මෙම ව්‍යාපෘතිය තුලින් මේ වනවිට ලොව පුරා විශාල ඉල්ලුමක් පවතින ඉහල ආදායමක් ලබා දෙන තාක්‍ෂණය මත පදනම් වූ මැලියම් බන්ධිත ඇඟලුම් නිෂ්පාදනය සිදු කිරීමට අපේක්ෂිතයි.

    Fusion Apparel විසින් ඇඟලුම්වල සාම්ප්‍රදායික මැහුම් වෙනුවට ඇඟලුම්වල ක්‍රියාකාරීත්වය ඉහළ නංවන අනාගත තාක්‍ෂණයක් වන මැලියම් බන්ධන හඳුන්වා දෙයි. විශේෂිත මැලියම් භාවිතා කිරීමෙන්, මෙම ක්‍රමය බාධාවකින් තොරව නිමාව, වැඩි කල්පැවැත්ම සහ පළඳින්නන් සඳහා වැඩි දියුණු කළ සුවපහසුව සහතික කරයි. මැලියම් බන්ධනයේ ඇති සුවිශේෂත්වය නම් දියර මැලියම් මඟින් මැහුම් රහිත නිෂ්පාදන නිෂ්පාදනය කිරීමේදී ඉහළ මට්ටමේ කාර්යක්ෂමතාවයක් සහ පරිමාණයක් ලබා දීමයි. එහි ස්ථාවර යෙදුම නිෂ්පාදන ගුණාත්මක භාවය ඉහළ නංවයි. මෙමගින් වඩා උසස් නිමි භාණ්ඩ නීෂ්පාදනය වේ. මැලියම් බන්ධනය මූලික රෙදිපිළි හිරුඑළියට ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කරයි. එය පුළුල් පරාසයක කාර්ය සාධන ඇඳුම් සඳහා සුදුසු වන අතර, අලංකාරය සහ ක්‍රියාකාරී අවශ්‍යතා ද සපුරාලයි.

    Fusion Apparel සමාගම ලොව ප්‍රමුඛපෙළේ නිෂ්පාදන සහ ජනප්‍රිය ජාත්‍යන්තර සන්නාම සමඟ ක්‍රියා කරයි. මෙම ගෝලීය සන්නාම සඳහා වැඩිවන ඉල්ලුමට සැපයීම ලබා දෙමින් වැඩි විදේශ විනිමයක් ඉපැයීම නව ව්‍යාපෘතිය මගින් සිදු වනු ඇත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක ඇගලුම් සමාගම් රැසක් මේ වනවිටත් මැලියම් බන්ධන නිෂ්පාදන කෙරේ යොමු වෙමින් පවතී. Fusion Apparel සමාගමේ නව ආරම්භයත් සමග මෙම තාක්ෂණය මත පදනම් වූ කර්මාන්ත සඳහා උපායමාර්ගිකව ආයෝජනය කිරීමට සෙසු ආයෝජකයන් දිරිගැන්වීම අපේක්ෂා කරයි. මෙම ව්‍යාපෘතිය මඟින් කර්මාන්තය සඳහා තාක්‍ෂණික දැනුම තවදුරටත් වැඩිදියුණු කරන අතර නව රැකියා අවස්ථා 100 ක් පමණ ජනිත කරයි.

    තාක්‍ෂණික හවුල්කාරිත්වයකින් යුත් මෙම හවුල් ව්‍යාපාරය Brandix සහ Fusion ඇඟලුම් සඳහා පමණක් නොව මෙරට සමස්ත කර්මාන්තයටම අසමසම ප්‍රතිලාභ ලබා දෙනු ඇත. බ්‍රැන්ඩික්ස් දශක හතරකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ ප්‍රමුඛයා වන අතර, කර්මාන්තයේ ප්‍රමුඛයන් සඳහා පෙර ගමන්කරු ලෙසද සේවය කරයි.

    මේ වනවිට Brandix සමාගම ලොව ප්‍රචලිත සන්නාම යටතේ නිෂ්පාදනයට හවුල්කාරිත්වය දරයි. ගෝලීය වෙළඳපොලේ කීර්තිමත් නාමයකට හිමිකම් කියන Brandix සමාගම සිය නිෂ්පාදනයන් හි ගුණාත්මක භාවය ඉහල නංවයි. සිය නිෂ්පාදන හඳුන්වා දීම සඳහා Brandix හි එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ආසියාවේ පවතින පාරිභෝගික සබඳතා භාවිතා කරණු ඇත. Brandix දළ වශයෙන් USD මිලියන 10 ක සම්පූර්ණ ව්‍යාපෘති ආයෝජනයක් අපේක්ෂා කරයි.

    ගිවිසුමට අත්සන් කිරීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා හර්ෂණී රන්දිලිගම, ජනකී සියබලස්ගස්තැන්න යන මහත්මීන්ද FUSION APAREL සමාගම වෙනුවෙන් ප්‍රධාන විධායක නිළධාරි අසංක විමලරත්න මහතා ගිවිසුමට අත්සන් තැබූහ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් මහත්මියද ඡායාරූපයේ සිටී.