බ්‍රිතාන්‍යය ක්‍රමයට පී.බී. ගෙන් සැලියුට්

    September, 24, 2014

    මෙරට රාජ්‍ය සේවය කළමනාකරණය කිරීම සඳහා බ්‍රිතාන්‍යයන් විසින් දිස්ත්‍රික්ක මට්ටමින් පිහිටවූ කළමනාකරණ පද්ධතිය ඉතාමත් ප්‍රබල එකක් බවත් එහි ශක්තිමත් භාවය අදටත් ඔප්පු වන බවත් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා කීය.

    සුනාමි විපතට වසර දහයක් සපිරීමට සමගාමීව ආපදා කළමනාකරණ අමාත්‍යංශය විසින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද ආරම්භ කළ දින තුනක ජාත්‍යන්තර සමුළුවේ ආරාධිත දේශනය සිදුකරමින් ජයසුන්දර මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

    ඔහු පැවසුවේ ගංවතුර, නියඟය, සුනාමි වැනි ස්වභාවික ආපදාවන් මෙන්ම මනාප ඡන්ද ක්‍රමයක් සහිත ඉතාමත් සංකීර්ණ ඡන්ද ක්‍රමයක් පවා බ්‍රිතාන්‍යයන් විසින් ගොඩනැගූ මෙම පද්ධතිය මගින් තවමත් ඉතාමත් හොඳින් කළමනාකරණය කරන බවයි.

    විශේෂයෙන්ම දිස්ත්‍රික්ක මට්ටමේ සිටින මෙරට රාජ්‍ය සේවකයින් සිදුකරන කාර්ය භාරය ඉතාමත් ඉහළ බවත් තමා දිනපතා ඔවුන් සමග වැඩකරන නිසා ඒ බව දන්නා බවත් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.

    “මෙම කළමනාකරණ පද්ධතිය අපේ නෙවෙයි“ (බ්‍රිතාන්‍යයන්ගේ) යනුවෙන් ජයසුන්දර මහතා අවධාරණය කළේය.

    බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවේ ගොඩනැගුවේ බහු කාර්ය ප්‍රධානීන්ගෙන් (Multi Task CEOs) යුත් බහු කාර්ය කළමනාකරණ ආයතනයක් (Multi Task Management Institution) බව අවාධරණය කළ ජයසුන්දර මහතා එය විශ්වාසදායී කළමනාකරණ පද්ධතියක් බව කීය.

    ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේ ආපදාව වන්නේ සියල්ලටම පොදු ක්‍රමයක් අනුගමනය කිරීම බවත් (Generalize System) ඒ ඒ අවස්ථාවට ආවේණික මාදිලි (Situation Specific Models) අනුගමනය කිරීම අනිවාර්ය දෙයක් බවයි.

    පුද්ගලික අංශයට සෑම දෙයක්ම කළ හැකියැයි යන්න සත්‍යයක් නොවන බවත් එය විවාදයට ලක්විය යුත්තක් බවත් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.