බැංකුවල අමුතු තියරිය. පොලී අඩු කරන්නෙ ඉල්ලීමක් කළොත් පමණයි

    October, 17, 2014

    මෙරට පොලී අනුපාත ඉතිහාසයේ පහළම අගයක් දක්වා මේ වනවිට අඩුවී තිබේ. මේ අනුව, නිවාස ණය පොලී අනුපාතය සියයට 10.5 ක් දක්වා සමහර බැංකු විසින් අඩුකර ඇත.

    සමස්තයක් ලෙස ගත්විට මේ වනවිට නිවාස ණය පොලී අනුපාතය තිබෙන්නේ සියයට 12 ක මට්ටමේයි. මීට වසර ගණනාවකට පෙර සියයට 18 ක් වැනි ඉහළ පොලී අනුපාතයකට පාවෙන පොලී පදනම යටතේ නිවාස ණය ලබාගත් ගනුදෙනු කරුවන්ගේ පොලී අනුපාත මෙම අඩු පොලී අනුපාත වලට ගැලපෙන ලෙස බැංකු විසින් අඩුකළ යුතුවේ.

    මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ ඇතැම් බැංකු විසින් මේ වනවිටත් ඉහළ පොලියට ගනුදෙනුකරුවන් ලබාගත් නිවාස ණයවල පොලී අනුපාත වෙළඳ පොළ අඩු පොලී අනුපාත වලට ගැලපෙන ලෙස අඩුකර තිබෙන බවයි.

    කෙසේවෙතත්, සමහර බැංකු විසින් මේ ආකාරයෙන් පොලී අනුපාත තවදුරටත් අඩුකර නොමැති අතර එම බැංකු කරන්නේ ගනුදෙනු කරුවන් ඉල්ලීමක් කළහොත් පමණක් පොලී අනුපාත අඩු කිරීමයි.

    මෙහිදී, ඔවුන් නිදහසට කරුණු ලෙස ඉදිරිපත් කරන්නේ ගනුදෙනු කරුවන් සමග ණය ලබාදීමේදී ගිවිසුමකට එළඹ තිබෙන නිසා ගනුදෙනු කරුවන් ඉල්ලීමක් කරන තෙක් ඔවුන්ට එම නිවාස ණයවල පොලී අනුපාත අඩුකිරීමට හැකියාවක් නොමැති බවයි.

    ණය ගත්තේ පාවෙන පොලියට නම් පොලී අඩුකරන ලෙස ඉල්ලන්න

    ඔබ යම් කිසි බැංකුවකින් පාවෙන පොලී පදනම යටතේ (Floating Rate) පසුගිය කාලයේ වැඩි පොලියට නිවාස ණයක් ලබාගෙන තිබේ නම් එහි පොලී අනුපාතය වෙළඳ පොළ පොලී අනුපාතයට ගැලපෙන ලෙස අඩුකරන්නැයි අදාළ බැංකුවෙන් ඔබට ඉල්ලීමක් කළ හැකිය.

    එම ඉල්ලීම සලකා බලා සාධාරණ අනුපාතයකින් පොලිය අඩුකිරීමට බැංකුව කටයුතු කරනු ඇත.

    මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දක්වමින් මූල්‍ය අංශයේ ප්‍රවීණයෙකු පැවසුවේ ඇතැම් බැංකු පාවෙන පොලී පදනම මත ලබාගත් ණයවල පොලිය පසුගිය කාලයේදී වැඩි කිරීමට කටයුතු කළත් පොලී අඩුවන විට ඒවා අඩුකිරීමට කටයුතු කර නොතිබීම කණගාටුවට කරුණක් බවයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය කාලයේදී පොලී අනුපාත අඩුකරමින් මෙරට අඩු පොලී වාතාවරණයක් ගොඩනැගූ අතර උද්ධමනයද මේ වනවිට පහළම අගයක් දක්වා අඩුවී ඇත.

    මීට පෙර අවස්ථාවක අප සමග අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ මහ බැංකුව පොලිය අඩුකර තිබෙන ආකාරයට සාපේක්ෂව පොලිය අඩු නොකරන බැංකු වලට එරෙහිව කටයුතු කරන බවයි.

    මහ බැංකුව විසින් අද නිකුත් කළ මුදල් ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් කර තිබෙන්නේ වාණිජ බැංකු විසින් පොලී අනුපාත අඩුකර තිබෙන ආකාරය පිළිබඳව සතුටු වන බවයි.

    කෙසේවෙතත්, අළුත් ණයවල මෙන්ම පාවෙන පොලී පදනම මත ලබාගෙන තිබෙන පැරණි ණයවල පොලිය අඩුකිරීමද එකලෙස වැදගත් වේ.