බැංකු පොලිය තවත් පහළ යන ලකුණු

    February, 17, 2014

    මහ බැංකු පොලිය මෙවර වෙනස් නොවේ

    වාණිජ බැංකුවල පොලී අනුපාත තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත මේ පෙබරවාරි මාසයේදීත් වෙනස් නොකිරීමට මුදල් මණ්ඩලය තිරණය කර තිබේ.

    මේ අනුව, ඉදිරියේදී වාණිජ බැංකුවල පොලී අනුපාත තවදුරටත් පහළ යාමේ අවස්ථාවක් තිබෙන අතර මේ වසරේදී පුද්ගලික අංශය බැංකු ක්‍රමයෙන් ලබාගන්නා ණය ප්‍රමාණය ගිය වසරේදී වූ සියයට 08 ක ප්‍රමාණය සියයට 16 ක් දක්වා දෙගුණයකින් වර්ධනය කිරීමට මහ බැංකුව ඉලක්ක කර ඇත.

    මහ බැංකුව පවසා තිබෙන්නේ පසුගියදා නිකුත් කළ ඩොලර් බැඳුම් කර වලින් යම් මුදල් ප්‍රමාණයක් රුපියල් බවට පත්කර මුදල් වෙළඳ පොළට යොදා තිබුණත් මේ වසරේදී තනි ඉලක්කමේ උද්ධමනයක් පවතිනු ඇති බවයි.

    ඒ සඳහා සැපයුම් අංශයේ පවතින යහපත් ප්‍රවණතාවයද හේතුවී තිබේ.

    2013 වසරේදී කර්මාන්ත හා සේවා අංශය සඳහා බැංකු ක්‍රමයෙන් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 200 කින් වර්ධනය වී තිබෙන අතර 2012 වසරේදී එම ප්‍රමාණය වර්ධනය වී තිබුණේ රුපියල් බිලියන 167 කිනි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත මේ පෙබරවාරි මාසයේදී සියයට 6.50 ත් සියයට 8.0 ත් ලෙස නොවෙනස්ව පවතිනු ඇති.