April, 21, 2015
තිස් අවුරුදු භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේ ලංසු භාරගැනීමට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියට මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ කිසිදු සෘජු දායකත්වයක් නොමැති බවට රජය පත්කළ විමර්ශන කමිටුව ප්‍රකාශ කළත් එය අසත්‍යයක් බවත් ඒ සඳහා මහ බැංකු අධිපතිවරයා සෘජුවම උපදෙස් ලබාදී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග උපුටා දක්වමින් “දිවයින“ පුවත් පත වාර්තා කර තිබේ.
චෝදනා එල්ල වූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සිදුවූ දින මහ බැංකු අධිපතිවරයා අදාළ වෙන්දේසියට පෙර තවත් මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනකු සමග මහ බැංකු මූලස්ථාන ගොඩනැඟිල්ලේ 10 වැනි මහලේ පිහිටි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගොස් ඇති අතර ඉන්පසු අදාළ ලංසු ද පරීක්ෂා කළබව මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග උපුටා දක්වමින් “දිවයින“ වැඩිදුරටත් වාර්තා කරයි.
රුපියල් බිලියනයක් වෙනුවට රු. බිලියන 10 ක ලංසු පිළිගන්නා ලෙස උපදෙස් දී ඇත්තේ මහ බැංකු අධිපතිවරයා විසින්ම බවද සඳහන්ය. මහ බැංකු අධිපතිවරයා එසේ රු. බිලියන 10 දක්වා වන ලංසු පිළිගන්නා ලෙස උපදෙස් දුන් පසු රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ එක්තරා නිළධාරියෙක් රු. බිලියන 10 ක වටිනාකමක් දක්වා ලංසු පිළිගතහොත් පොලී අනුපාත ඉහළ යනු ඇතිබව පෙන්වාදී තිබෙන බවද මෙම වාර්තාව කියයි. ඒ බව නොතකා රු. බිලියන 10 ක ලංසු පිළිගන්නා ලෙස මහ බැංකු අධිපතිවරයා උපදෙස් ලබාදුන් බව “දිවයින“ වාර්තා කර ඇත.
මේ අවස්ථාවේ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනකුද සිට ඇති බවත් එහෙත් එම දෙදෙනාගෙන් රජයේ නීතිඥ කමිටුව සාක්ෂි විමසා නැති බවත් මේ අනුව මෙම කමිටුව පැහැදිලිවම මහ බැංකු අධිපතිවරයා මෙම අක්රමිකතාවට සම්බන්ධ නොමැති බවට තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාකර ඇති බවට සාධාරණ සැකයක් මතුවන බවත් මෙම පුවතේ සඳහන්ය.
කෙසේවෙතත්, මෙම ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුව විසින් ප්‍රකාශ කර තිබුණේ මෙම බැඳුම්කර නිකුතුව සඳහා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සෘජුවම දායකත්වය දක්වා නොමැති බවයි.
Video Story