බැඳුම්කර නිකුතුවෙන් දෙගුණයක් හොයලා

    February, 5, 2016

    අද (05) දින පවත්වන භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී ඉදිරිපත් කළ ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා ලංසු අනුමත වී තිබේ.

    මෙහිදී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබූ වසර 4 යි මාස 10 ක පරිණත කාලයකින් යුතු රුපියල් මිලියන 2,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ලැබුණු ලංසු ප්‍රතික්ෂේප වී ඇත.

    මේ අතර වසර 14 යි මාස 03 කින් යුතු බැඳුම්කර සඳහා මිලියන 42,865 ක ලංසු ලැබී තිබෙන අතර එයින් මිලියන 10,455 ක ලංසු අනුමත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. කෙසේ වෙතත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණේ රුපියල් මිලියන 3,000 ක බැඳුම්කර ප්‍රමාණයක් පමණි.

    මීට අමතරව වසර 24 යි මාස 11 ක පරිණත කාලයකින් යුතු රුපියල් මිලියන 10,250 ක භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් සඳහා ලැබුණු ලංසු ද මෙහිදී අනුමත වී තිබේ. මෙම කාණ්ඩයට අදාළව වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුනේ රුපියල් මිලියන 5,000 ක බැඳුම්කර ප්‍රමාණයකි. ඒ සඳහා රුපියල් මිලියන 48,080 ක ලංසු ඉදිරිපත්ව තිබුණි.

    මේ අනුව අද දින වෙන්දේසිය සඳහා මූලික වශයෙන් රුපියල් මිලියන 10,000 ක වටිනා භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණ ද වෙන්දේසියේ දී රුපියල් මිලියන 20,705 ක බැඳුම්කර සඳහා ලැබුණු ලංසු භාරගෙන තිබේ.