January, 29, 2015
අරලියගහ මන්දිරය ඉදිරිපිට ඉදිවෙමින් තිබෙන තට්ටු 47 ක දැවැන්ත ගොඩනැගිල්ල සෙලින්කෝ සමාගමෙන් අත්පත් කරගනිමින් සිනෝ ලංකා නැමති සමාගමට රුපියල් මිලියන 357 ක් වැනි අඩු ලංසුවකට පසුගිය රජය විකුණුවේ රුපියල් බිලියන 7.5 ක් වැනි ලංසුවක් සෙලින්කෝ සමාගමට ලැබී තිබී ඇති පසුබිමක බවත් මෙම දූෂිත ගනුදෙනුව පිළිබඳව විමර්ශනයක් කරන ලෙසත් ප‍්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ඊයේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ සෙලින්කෝ සමාගමට ලැබී තිබූ රුපියල් බිලියන 7.5 ක ලංසුවට අනුව මෙම ගොඩනැගිල්ල විකිණීමට අවස්ථාව ලැබුණා නම් අර්බුදයට පත් සෙලින්කෝ සමාගමේ තැන්පතු කරුවන්ට ගෙවිය යුතුව තිබෙන මුදල් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ගෙවීමට තිබූ බවයි.
මෙම ගොඩනැගිල්ල පසුගිය රජය විසින් රුපියල් 50 ක ප්‍රාග්ධනයකින් ආරම්භ කර තිබෙන සිනෝ ලංකා නැමති සමාගමට අඩු ලංසුවකට ලබාදීම දූෂිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.
සිනෝ ලංකා නැමති මෙම සමාගමේ අයිතිකරුවන් කවුද? එය ලියාපදංචි කර තිබෙන්නේ කොහේද? මෙම සමාගම සහ ලිට්‍රෝ ගෑස් සමාගම අතර තිබෙන සම්බන්ධතාවය කුමක්ද ? වැනි ගැටලු රාශියක් මෙම ව්‍යාපෘතියට අදාළව පැන නැගී ඇතැයි හර්ෂ ද සිල්වා මහතා කීය.
“ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ සිනෝ ලංකා සමාගමේ වටිනාකම රුපියල් පනහයි. රුපියල් පනහේ ආයතනයකට කොහොමද, මෙච්ච්ර තට්ටු හතලිස් හතක හෝටලයක් හදන ගොඩනැගිල්ලක් ලබාදුන්නේ ? මේකට තියෙන්නෙ බදු ඔප්පුවක්. බදු ඔප්පුවක් තියන ඉඩමක් කොහොමද සින්නක්කර ක්‍රමයට සෙලාන් බැංකුවට ලබාදුන්නේ?“
මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සම්බන්ධයෙන් වත්මන් රජයට ප්‍රශ්නයක් නොමැති බවත් එය සිදුකළ යුත්තේ විනිවිද භාවයකින් යුක්තව බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සෙලින්කෝ සමාගමට අයත්වූ මෙම ගොඩනැගිල්ල පසුගිය රජය විසින් ආන්දෝලනයට තුඩුදුන් දේපොළ පවරා ගැනීමේ නීතියට අනුව රජයට පවරාගෙන පසුව මෙම සිනෝ ලංකා නැමති සමාගමට විකුණා තිබේ.
පසුව සිනෝ ලංකා සමාගම විසින් නැවතී තිබූ මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නැවතත් ආරම්භ කළ අතර සඳහන් කළේ Hyatt Regency සන්නාමය යටතේ කළමනාකරණය කරන සුපිරි හෝටලයක් මෙහි ආරම්භ කරන බවයි.
Video Story