October, 11, 2024
ශ්‍රී ලාංකික ආයෝජක චන්දන සිල්වා මහතාගේ හා ජපාන ආයෝජක සෙයිජි ඔට්සුකා ( SEIJI OTSUKA) මහතා ගේ ආයෝජනයෙන් ආරම්භ කළ බෙන්තොට සෙලෙස්ටියා ආයුවේද නිකේතනය විවෘත කිරීම පසුගිය 10දා සිදු කෙරිණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා විරකෝන මහත්මියද සහභාගි වූවාය.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා විරකෝන් මහත්මිය, මෙරට ආර්ථිකයේ විශාල පැතිකඩකට දායකත්වයක් දරණ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සාම්ප්‍රධායික සීමාවෙන් ඔබ්බට ගොස් රටට වැඩි විදේශ විනිමයක් එක් කරන නව ආයෝජන මානයන් කෙරේ ආයෝජකයින් උනන්දු කරවන බව පැවසුවාය.
වාර්ෂිකව විශාල විදේශ විනිමයක් රටේ ආර්ථිකයට එක් කරන සංචාරක ව්‍යාපාරය තව දුරටත් වර්ධනය කර ගැනීම වෙනුවෙන් මේ වන විටත් ආයෝජකයින් හට සේවා සැපයීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ක්‍රියා කරයි.
දශක ගනනාවකට පෙර පැවති සංචාරක කර්මාන්තයේ ස්භාවය අද වනවිට බොහෝ සෙයින් වෙනස් වෙමින් පවතී. පවතින වානිජකරණයත් සමග මිනිස් ජීවිත කාර්යබහුල හා අවිවේකි වී ඇත. බොහෝ පිරිස් මානසික ආතතීන් හා බෝ නොවන රෝගයන්ට ගොදුරු වෙමින් සිටිති. ගෝලීය වශයෙන් ගත් කළද මෙය සාමාන්‍ය තත්ත්වයකි. ශාරීරික හා මානසික සහනය සදහා සාර්ථකම පිළියමක් ලෙස හෙළ වෙදකම හා බැදුනු යෝග හා භාවනාවන් ක්‍රම අනුගමනය කිරීම ලොව පුරා ඉහල යමින් පවතී.
වසර සිය දහස් ගණනක අතීතයකට හිමිකම් කියන දේශීය වෙදකම, පංච කර්මයන්, දේශීය ‘ස්පා’ කර්මාන්තය මෙරට සංචාරක කර්මාන්තයට එක් කරගෑනීම ආර්ථිකට ශක්තියක් වේ. මෙම කේෂ්ත්‍රයේ සංචාරකයින් වැඩි දින ගනනක් මෙරට ගතකිරීම තුලින් ඉහල ආදායමක් උපයා ගත හැකිය.
මේ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය මත විවෘත වූ බෙන්තාට සෙලෙස්ටියා ආයුවේද නිකේතනය නව මානයේ සංචාරක කර්මාන්තයකට එක් වීමකි. සෙලෙස්ටියා ආයුවේද නිකේතනය අක්කර 6 ක භූමි භාගයක සුඛෝපභෝගී කාමර 65 කින් සමන්විත වන අතර ඉන් පහක් විලාස් වේ. Celestia සම්මත ආයුර්වේද ප්‍රතිකාරවලට වඩා වැඩි යමක් ලබා දෙමින් යෝග පන්ති, වෙරළ භාවනාව, වයස්ගත වීම වැළැක්වීමේ පැකේජ සහ මධුසමය පැකේජ ඇතුළු නව වැඩසටහන් රැසක් හදුන්වා දෙයි.යුරෝපීය සංචාරකයින්,විශේෂයෙන් ජර්මානු හා ජපාන සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම මෙන්ම ලැගුම් ගන්නා දින ගනන දින 07 සිට මාස 03 දක්වා ඉහල නැංවීමටද අපේක්ෂා කරන බව සෙලෙස්ටිනා ආයතනය පවසයි.



සෙලෙස්ටියා ආයුවේද නිකේතනය විවෘත කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ආායෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා විරකෝන් මහත්මිය, ජපාන ආයෝජන සෙයිජි ඔට්සුකා හා චන්දන සිල්වා යන මහත්වරු නිරීක්ෂණයට එක් වූ අයුරු.