July, 14, 2016
භාණ්ඩවල උපරිම සිල්ලර මිල නියම කිරීම සඳහා වන ඉන්දියානු ක්‍රමවේදය නුදුරේ දීම ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව ආනයනකරුවන් සහ සිල්ලර වෙළෙන්දන් අතර සාකච්ඡා පවත්වා භාණ්ඩයක් අලෙවි කළ හැකි උපරිම මිලක් ප්‍රකාශයට පත් කරන බවයි. පසුගිය දා (12) මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ ය.
ඇතැම් භාණ්ඩවල තොග මිල සහ සිල්ලර මිල අතර දැනට පවතින දැඩි පරතරය අවම කිරීමේ අරමුණෙන් මෙම ක්‍රමවේදය හඳුන්වා දෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. අමාත්‍යවරයා කියා සිටියේ එසේ උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක කිරීමට ද සූදානම් බවයි.
වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා -
‘‘මේ වැට් බද්ද සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා තොග සහ සිල්ලර වෙළෙඳුන් සමග පැවැති සාකච්ඡාවක දී ගැටලුවක් මතු වුණා වැට් බද්ද එකතු නොකරපු භාණ්ඩවල මිල වැඩි වෙන්නෙ කොහොම ද කියල. ඒ අනුව තමයි මා ඇතුළු පිරිස අනුකමිටුවක් ලෙස පත් කෙරුණා මේ ගැටලුව පිළිබඳ සොයා බලන්න. ඒ අනුව ප්‍රධාන කරුණු 3ක් ගැන සැලකිලිමත් වෙන්න අපි තීරණය කළා. පළමු වැන්න තමයි තොග ආනයනය මීට වඩා විධිමත් කරල රජය සහ පෞද්ගලික අංශය එකට වැඩ කරන ස්වරූපයක් ඇති කිරීම. ඒ කියන්නෙ භාණ්ඩ අඩුම මිලකට ආනයනය කර ගන්න එක. දෙවැනි කාරණාව තමයි බෙදා හැරීමේ ජාලය ශක්තිමත් කරන්න.
ලක් සතොස ශාඛා 324කින් බෙදා හැරීම් කටයුතු කරන අතරතුර තවත් විසි දහසක පමණ පිරිසක් රට පුරා බෙදා හැරීමේ කටයුතු කරනවා. අපට අවශ්‍ය ලක් සතොස වැනි ආයතන දෙදහසක් පමණ පවත්වාගෙන යාමයි. තුන් වැනි කාරණාව තමයි අත්‍යවශ්‍ය භාණ්ඩ 15ක් දීර්ඝ කාලයක් තිස්සේ ස්ථාවර මිලකට පවත්වාගෙ යාමට අවශ්‍ය කටයුතු කිරීම. අද කොළඹ මිල නොවෙයි යාපනේ තියෙන්නෙ. පුත්තලමේ තව මිලක්. ඒ විතරක් නොවෙයි කිලෝමීටර් තුන හතරක් ඇතුළත මිල ගණන් වෙනස්. එක තැනක සීනි රුපියල් සීයයි, තව තැනක සීනි එකසිය තිහයි. වගකිය යුතු රජයක් විදියට මේ වගේ කළු කඩ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න දෙන්න බෑ.
ඒ නිසා මම මාධ්‍යවලින් විශේෂයෙන් ඉල්ලා සිටිනවා අපිත් සමග එකතු වෙන්න මේ තත්ත්වය හෙළිදරව් කර ගන්න. ඔබ සියලු දෙනා අපේ නියෝජිතයන් ලෙස කටයුතු කරල මේ කූඨ වෙළෙන්දන් හෙළි කරල දෙන්න.
ඒ වගේ ම තමයි අපි සූදානම් වෙනවා ඉන්දියාවේ සාර්ථකව ක්‍රියාත්මක උපරිම සිල්ලර මිල සංකල්පය අප රට තුළ ක්‍රියාත්මක කරන්න. මේ කටයුත්ත සඳහා අපට මාසයක එක හමාරක කාලයක් ගතවේවි. ඒ සඳහා ක්‍රියාවලියක් සකස් කරන්න ඕනෙ. භාණ්ඩයක් නිෂ්පාදනය කරන අවස්ථාවෙ ලියාපදිංචි කළ මිල ප්‍රසිද්ධ කරන්න අවශ්‍යයි. ඒක මුද්‍රණය කරන්න අවශයි. කොපමණ භාණ්ඩ හිගයක් ආවත් ඊට වැඩි මිලකට භාණ්ඩ විකුණන්න බෑ. පාරිභෝගික සේවා අධිකාරිය වැටලීම් දෛනිකව හාර පන්දහසක් පමණ වුවත් ක්‍රියාත්මක කරල මේ තත්ත්වය ආරක්ෂා කරන්න තමයි අපේ අපේක්ෂාව.”යැයි ද අමාත්‍යවරයා පැවැසීය.
මාධ්‍ය හමුවට එක් වූ කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිසාඩ් බදියුදීන් මහතා පැවසුවේ ඉදිරියේ දී සතොස ශාඛා ජාලය තව දුරටත් පුළුල් කිරීමට සූදානම් බවයි. දෙසැම්බර් මාසය වන විට 500 වැනි සතොස ශාඛාව ද විවෘත කිරීමට මේ වන විට සූදානම් බවත් හෙතෙම අවධාරණය කළේ ය. මීට අමතරව වැටලීම් ක්‍රියාත්මක කිරීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියට අවශ්‍ය පිරිස බඳවා ගැනීම සඳහා ද අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බව අමාත්‍යවරයා කියා සිටියේ ය.
ජනතාවට පහසු මිලට එළවළු ලබා ගැනීම සඳහා ක්‍රියාත්මකව ඇති විශේෂ ආර්ථික මධ්‍යස්ථාන සංකල්පය නව වැඩපිළිවෙළක් යටතේ තවත් විධිමත් කරන බවයි මාධ්‍ය හමුවට එක් වූ ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මැතිතුමා කියා සිටියේ. මෙම ජාලය උතුරු ප්‍රදේශය වෙත ක්‍රියාත්මක කිරීමේ කටයුතු ආරම්භ කරන බවත්, නුදුරේ දීම වවුනියාව ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරන බවත් හෙතෙම අවධාරණය කළේ ය.
මෙම අවස්ථාවට සහභාගී වූ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා කියා සිටියේ ඉදිරියේ දී දෛනිකව ආහාර ද්‍රව්‍යවල තොග මිල මහජනතාව වෙත ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බවයි. ඒ අනුව මහජනතාවට භාණ්ඩවල සැබෑ මිල ගණන් දැන ගැනීමට හැකි වන බවයි.