භාණ්ඩාගාර බිල්පත් පොළිය ඉහළට

    December, 18, 2015

    පෙරේදා (16) පැවති භාණ්ඩාගාර බිල්පත් නිකුතුවේ දී පොළී අනුපාතික වැඩි වී තිබේ. මෙහිදී පරිණත කාලය, දින 91 - 6.10% සිට 6.28% දක්වා ද, දින 182 – 6.35% සිට 6.54% දක්වා සහ දින 364 – 6.92% සිට 7.01% දක්වා ද ලෙසින් පොළී අනුපාතිකයන් ඉහළ ගොස් තිබේ. මෙදින පැවති වෙන්දේසියේ දී රුපියල් මිලියන 15,843 ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබුණි.

    මේ අතර එළඹෙන 21 වන දින තවත් රුපියල් මිලියන 20,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.

    මෙහිදී දින 91 කින් කල්පිරෙන රුපියල් මිලියන 4,000 ක බිල්පත්, දින 182 කින් කල්පිරෙන රුපියල් මිලියන 6,000 ක බිල්පත් සහ දින 364 කින් කල්පිරෙන රුපියල් මිලියන 10,000 ක බිල්පත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර සිටින ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටින්නේ වෙළෙඳපොළ තත්ත්වයන් මත වෙන්දේසියට ඉදිරිපත් කරන ප්‍රමාණයට වඩා වැඩි හෝ අඩු ප්‍රමාණයන් පිළිගනු ලැබිය හැකි බවයි.