July, 15, 2015
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක බැඳුකර නිකුතුව සම්බන්ධයෙන් පැන නැගුණු ප්‍රශ්න හමුවේ හොඳම දෙය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඉල්ලා අස්වීම යැයි තමා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන්බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරයා විසින් ඊයේ පස්වරුවේ සිදුකළ විශේෂ ප්‍රකාශයේදී මේ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි.
“රටේ පොදු ජනතාව අතර මතයක් තිබෙනවා රනිල් වික්‍රමසිංහ මහතා දූෂිතයෙන් නෙවෙයි. හොරකම් කරන කෙනෙක් නෙවෙයි කියල. මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රශ්නය ආපුවහම, මේ පිළිබඳව වරින් වර කරපු සාකච්ඡා වලදී අවසාන වරටත් මම එතුමාට කිව්වා, ඔබට හොඳ නමක් තිබෙනවා, මේ සිද්ධියත් එක්ක, මේ තිබෙන පසුබිම තුළ ඔබතුමා සමාජයට රටට නිවැරදි වෙන්න ඕන කියල. ඒ නිසා, හොඳම දේ තමයි මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්වෙන එක කියල මම කිව්වා.“
මෙම ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුව විසින් ප්‍රකාශ කර තිබුණේ මෙම බැඳුම්කර නිකුතුව සඳහා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සෘජුවම දායකත්වය දක්වා නොමැති නමුත් මහ බැංකු අධිපතිවරයාගේ බෑනාට සම්බන්ධ කමක් තිබෙන සමාගම මෙම නිකුතුව සඳහා ලංසු ඉදිරිපත්කළ ආකාරය අසාමාන්‍ය බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් අවශ්‍ය බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑනාට සම්බන්ධ කමක් තිබෙන සමාගම මෙම බැඳුම්කර නිකුතුව සඳහා ඉදිරිපත් කර තිබෙන අසාමාන්‍ය වශයෙන් විශාල ලංසු වලට අදාළව ලංකා බැංකුව කටයුතු කළ ආකාරයේ බරපතල අඩුලුහුඬුකම් පවතින බව නීතිඥ ගාමිණී පිටිපන, නීතිඥ මහේෂ් කළුගම්පිටිය, නීතීඥ චන්දිමාල් මෙන්ඩිස් යන අයගෙන් සැදුම්ලත් ත්‍රි පුද්ගල කමිටුව විසින් සඳහන් කර තිබුණි.
මේ නිසා, වසර තිහක බැඳුම්කර නිකුතුවට අදාළව අති විශාල මුදල් සම්භාරයක් අවදානම් සහගත තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ලංකා බැංකුව අධිකරණමය විගණනයක් පැවැත්විය යුතු බවත් සිය ප්‍රධාන අලෙවිකරුගෙන් කරුණු විමසිය යුතු බවත් මෙම කමිටුව විසින් නිර්දේශ කර තිබේ.
මෙම බැඳුම්කර නිකුතුව පිළිබඳව මහ බැංකුව විසින් නිකුත් කර තිබූ නිවේදනය මෙන්න!
Video Story