July, 12, 2016
ශ්‍රී ලංකාවේ නැගෙනහිර අන්තය කරා ගුවන් ගමන් පහසු කරලමින් මඩකළපුව ගුවන්තොටුපළ පසුගිය ජූලි 10 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත විය.
මෙතෙක් කලක් යුධමය කටයුතු සඳහා භාවිතයට ගැනුණු මෙම ගුවන්තොටුපළෙහි ධාවන පථය මීටර 1,500 ක් දක්වා දීර්ඝ කිරීම මෙම ව්‍යාපෘතියෙහි ප්‍රධානතම කාර්ය වූ අතර මීට අමතරව නව මගී පර්යන්තයක් ද ඉදිකෙරිණි.
මෙම මුලපිරීමත් සමඟම කොළඹ කටුනායක සිට මඩකළපුව දක්වා ඉතා කෙටි කාලයක් තුළ දී ළඟා විය හැකි අයුරින් දේශීය ගුවන් සේවා ක්‍රියාත්මක කිරීම මෙරට සංචාරක ව්‍යාපාරය සඳහා ඉතා වැදගත් පියවරක් බව ශ්‍රී ලංකා සංචරණ සභාපති පැඩී විතාන මහතා මීට පෙර පැවසීය.
මීට අමතරව කොළඹ රත්මලාන ගුවන්තොටුපළෙහි සිට ද දේශීය ගුවන් සේවා ක්‍රියාත්මක අතර සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ පාර්ශව පවසන්නේ යාපනය දක්වා ක්‍රියාත්මක කළ ආකාරයෙන් මඩකළපුව දක්වා ද දේශීය ගුවන් ගමන් ආරම්භ කිරීමට පියවර ගැනීම සංචාරක ව්‍යාපාරයේ උන්නතියට වැදගත් දායකත්වයක් සපයනු ලබන ඇති බවයි.
ඡායාරූපය - නවීකරණය කිරීමෙන් පසු මඩකළපුව ගුවන්තොටුපළට පළමු ගුවන්යානය පැමිණි අවස්ථාව