මත්තල කළමනාකරණයට ආ ඉන්දීය සමාගමට ඇමරිකාව සම්බාධක පනවයි

    November, 8, 2024

    එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් තනි පුද්ගලයින් හා ආයතන ඇතුළු 275 දෙනෙකුට සම්බාධක පනවමින් නිවේදනයක් නිකුත් කර ඇත.

    රුසියාවට යුධමය කටයුතු සඳහා උපකාරී වන උසස් තාක්ෂණය හා උපකරණ සපයනු ලබන තනි පුද්ගලයින් හා ආයතන නම් කරමින් මෙම සම්බාධක පැනවීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන තිබේ.

    ඉන්දියාව, චීනය, ස්විට්සර්ලන්තය, තායිලන්තය හා තුර්කිය යන රටවල තනි පුද්ගලයින් හා ආයතන මෙලෙස සම්බාධකවලට ලක්වූ අය අතර වේ.

    ඉන්දියාව පදනම් කරගත් Shaurya Aeronautics Private Limited (Shaurya) සමාගම ද මෙම ලැයිස්තුවට අනුව සම්බාධක පැනවී ඇති ආයතනයකි.

    මෙම සමාගම විසින් යුධමය කටයුතු සඳහා යොදා ගන්නා උපකරණ රැසක් රුසියාව වෙත යවා තිබීම මීට හේතුවයි. රේඩාර් උපකරණ, රේඩියෝ නාවික ආධාරක උපකරණ සහ රේඩියෝ දුරස්ථ පාලක උපකරණ සහ මාරු කිරීම සඳහා විදුලි උපකරණ ඇතුළුව ඉහළ ප්‍රමුඛතා ද්විත්ව භාවිත තාක්ෂණය ඒ අතර වේ.

    Shaurya යනු මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි කළමනාකරණය සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ සමාගමයි.

    2024 අප්‍රේල් 25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිළිබඳ මාධ්‍ය ප්‍රකාශයට අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි කළමනාකරණය ඉන්දියාවේ M/s Shaurya Aeronautics (Pvt) Ltd සහ රුසියාවේ Airports of Regions Management Company වෙත හෝ එහි බද්ධ ව්‍යවසායයක් වෙත වසර 30ක කාලසීමාවක් සඳහා පැවරීම පිණිස එවකට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබුණි.