මත්තල ගුවන් තොටුපොළ තවත් පිම්මකට සූදානම්

    April, 4, 2014

    මත්තල ගුවන් තොටුපොළේ ගුවන් යානා ඉන්ධන ලීටර් මිලියන 03 ක් ගබඩාකළ හැකි තෙල් ගබඩාවක් විවෘත කිරීමට රජය සූදානම් වේ.

    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, ප්‍රසන්න වික්‍රමසූරිය මහතා පැවසුවේ මෙම තෙල් ගබඩාව ළඟදීම විවෘත කිරීමට කටයුතු කරන බවයි.

    “මෙයින් ගුවන් යානා වලට ඉන්ධන විකිණීම සිදුකරනවා.“

    යනුවෙන් හෙතෙම සඳහන් කළේය.

    අබුඩාබියේ රොටානා ජෙට් ගුවන් සේවය මත්තලට පියාසර කිරීමට සැරසෙන අතර “එයාර් ඇරබියා“ ගුවන් සේවයද නැවත වතාවක් මත්තලට පියාසර කිරීමට සූදානම් වේ. මේ වනවිට, “ෆ්ලයි ඩුබායි“ ගුවන් සේවය මත්තලට පියාසර කරයි.

    මේ අතර, පසුගියදා අපි වාර්තා කළේ මෙම ගුවන් තොටුපොළට පියාසර කිරීමට තිබෙන හැකියාව සොයා බැලීමට කටාර් එයාර්වේස් සහ එටිහාඩ් ගුවන් සේවා විගණනයක් සිදුකර තිබෙන බවයි.