March, 18, 2026
ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය මුදල් විශුද්ධිකරණය, ත්රස්තවාදයට මුදල් සැපයීම සහ සමූලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය පිළිබඳ 2024/25 වසර සදහා වන ජාතික අවදානම් ඇගැයීමේ සංක්ෂිප්ත වාර්තාව නිකුත් කරයි
රාජ්‍ය සංවිධාන, නියාමන ආයතන සහ පෞද්ගලික අංශයේ ආයතන 86ක සහයෝගීත්වය ඇති ව ශ්‍රී ලංකාව, මුදල් විශුද්ධිකරණය, ත්රස්තවාදයට මුදල් සැපයීම සහ සමූලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය පිළිබඳ ජාතික අවදානම් ඇගැයීම - 2024/25 සාර්ථක ව නිම කර ඇත. මෙම ජාතික කාර්යය සඳහා එම ආයතනවල විශේෂඥයින් 200ක පමණ පිරිසක් දායක වූහ. මෙය මෙරට තෙවන ජාතික අවදානම් ඇගැයීම වන අතර, මුදල් විශුද්ධිකරණය, ත්රස්තවාදයට මුදල් සැපයීම සහ සමූලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය පිළිබඳ අවදානම් හඳුනා ගැනීම සහ තක්සේරු කිරීම මෙම ඇගැයීමෙහි අරමුණ විය. මෙම ඇගැයීම මගින් ශ්‍රී ලංකාව මුහුණ දෙන වඩාත් ම සැලකිය යුතු මුදල් විශුද්ධිකරණ, ත්රස්තවාදයට අරමුදල් සැපයීම සහ සමූලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය පිළිබඳ තර්ජන, ඊට නතු වීමට ඇති ඉඩකඩ සහ සමස්ත අවදානම් ඉස්මතු කරයි.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය, මෙම ඇගැයීම සඳහා සම්බන්ධීකාරක ලෙස කටයුතු කරයි. ජාතික මුදල් විශුද්ධිකරණ තර්ජන, ජාතික මුදල් විශුද්ධිකරණ අවදානමට නතු වීමට ඇති ඉඩකඩ, බැංකු, සුරැකුම්පත්, රක්ෂණ, අනෙකුත් මූල්‍ය සමාගම්, නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සහ වෘත්තීන් ආශ්රිත අවදානම් මෙන් ම ත්රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳ ජාතික අවදානම, මූල්‍ය අන්තර්ග්‍රහණ නිෂ්පාදන ආශ්රිත අවදානම්, පාරිසරික සහ ස්වාභාවික සම්පත් ආශ්රිත අපරාධ අවදානම්, ලාභ නොලබන සංවිධාන කාණ්ඩය සම්බන්ධ ත්රස්තවාදයට මුදල් සැපයීමේ අවදානම්, නෛතික පුද්ගලයින්, නෛතික වැඩපිළිවෙල සහ ප්‍රතිලාභී අයිතීන්, අතථ්‍ය වත්කම් සහ අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් සම්බන්ධ අවදානම්, බදු අපරාධ සහ සමූල ඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය පිළිබඳ අවදානම් ඇතුළු මූලික ක්ෂේත්‍ර 15ක් යටතේ මෙම ඇගැයීම දියත් කරන ලදී.
මෙම තෙවන ජාතික අවදානම් ඇගැයීම පහත සඳහන් ප්‍රධාන ලක්ෂණවලින් සමන්විත වන බැවින් එය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වේ.
1) ජාතික මුදල් විශුද්ධිකරණ තර්ජන, සහ 2) ජාතික මුදල් විශුද්ධිකරණ අවදානම්වලට නතු වීමට ඇති ඉඩකඩ ඇගැයීම මගින් ශ්‍රී ලංකාවේ ජාතික මුදල් විශුද්ධිකරණ අවදානම නිර්ණය කරන ලදී. මූලික වශයෙන් නීතිවිරෝධී ක්‍රියා වලින් (මූලික වැරදි) උපයන ආදායම් මත පදනම් ව ශ්‍රී ලංකාවේ සමස්ත ජාතික මුදල් විශුද්ධිකරණ තර්ජන, මධ්‍යම මට්ටමක පවතින බව තක්සේරු කරන ලදී. ජාතික අවදානම් මර්දන හැකියාව සහ ක්ෂේත්‍රමය වශයෙන් මුදල් විශුද්ධිකරණ අවදානම්වලට නතු වීමට ඇති ඉඩකඩ යන ද්විත්වය ම සැලකිල්ලට ගනිමින් ජාතික මුදල් විශුද්ධිකරණ අවදානම්වලට නතු වීමට ඇති සමස්ත ඉඩකඩ ද මධ්‍යම මට්ටමක පවතින බවට ශ්‍රේණිගත කර ඇත. ඒ අනුව, පෙර ඇගැයීමට අනුකූල ව ශ්‍රී ලංකාවේ සමස්ත ජාතික මුදල් විශුද්ධිකරණ අවදානම මධ්‍යම මට්ටමේ පවතින බව තක්සේරු කරන ලදී.
මුදල් විශුද්ධිකරණ තර්ජන ඇගැයීම යටතේ, වඩාත් බරපතළ මූලික වරද ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම හඳුනාගෙන ඇති අතර මුදල් විශුද්ධිකරණ තර්ජන මට්ටම පෙර පැවති ඉහළ මධ්‍යම ශ්‍රේණිගත කිරීමේ සිට ඉහළ මට්ටම දක්වා වර්ධනය වී ඇත. ඉහළ මධ්‍යම මට්ටමේ ශ්‍රේණිගත කර ඇති, වංචා සහ වෙළෙඳාම පදනම් කර ගත් මුදල් විශුද්ධිකරණය ඇතුළු රේගු ආශ්රිත වැරදි දෙවන ස්ථානයේ පසු වේ. අල්ලස් සහ දූෂණ ආශ්රිත තර්ජන මට්ටම පෙර ඇගැයීමේ පැවති ඉහළ මධ්‍යම ශ්‍රේණිගත කිරීමේ සිට මධ්‍යම මට්ටම දක්වා අඩු වී ඇත. දූෂණ සංජානන දර්ශකය (Corruption Perceptions Index) ට අනුව ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම, 2024 වසරේ 121 වන ස්ථානයේ (ලකුණු: 32) සිට 2025 වසරේ 107 වන ස්ථානය (ලකුණු: 35) දක්වා ස්ථාන 14ක් ඉහළ යෑම මගින් අල්ලස් සහ දූෂණ ආශ්රිත තර්ජන මට්ටම පහළ යාම මැනවින් තහවුරු කෙරේ. තව ද මංකොල්ලකෑම්, පාරිසරික සහ ස්වාභාවික සම්පත් ආශ්රිත අපරාධ, අනීතික, වාර්තා නොකරන සහ නියාමනය නොවන මසුන් ඇල්ලීම සම්බන්ධ ජාවාරම්, මිනිස් ජාවාරම සහ බදු අපරාධ ද මුදල් විශුද්ධිකරණ අවදානම් සම්බන්ධයෙන් මධ්‍යම මට්ටමේ පසුවන බවට වාර්තා වී ඇත. පළමු වරට, සුරාබදු ආඥාපනත යටතේ සිදු වූ නීති උල්ලංඝනය කිරීම් තක්සේරු කෙරුණු අතර ඒවා පහළ මධ්‍යම මට්ටමක පවතින බව ශ්‍රේණිගත කර ඇත. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය පෙර ඇගැයීම්වලට අනුකූල ව තවදුරටත් පහළ මට්ටමේ මුදල් විශුද්ධිකරණ තර්ජනයක් පෙන්නුම් කරන ලදී.
මුදල් විශුද්ධිකරණ අවදානමට නතු වීමට ඇති ඉඩකඩ ඇගැයීම යටතේ, මුදල් විශුද්ධිකරණ අපරාධ නිර්වචනයේ ඵලදායී බව, දේපළ රාජසන්තක කිරීමේ නීතිවල විස්තීර්ණ භාවය, මූල්‍ය බුද්ධි ඒකකයේ බුද්ධි තොරතුරු රැස් කීරීමේ සහ සැකසීමේ ක්‍රියාවලියේ ගුණාත්මක භාවය, මූල්‍ය අපරාධ විමර්ශනය සඳහා වන ධාරිතාව සහ සම්පත්, මූල්‍ය අපරාධ විමර්ශකයින්ගේ සුපිළිපන් බව සහ ස්වාධීනත්වය, මූල්‍ය අපරාධ සම්බන්ධ නඩු පවරන්නන්ගේ ශක්‍යතාව සහ සම්පත්, මූල්‍ය අපරාධ සම්බන්ධ නඩු පවරන්නන්ගේ සුපිළිපන් බව සහ ස්වාධීනත්වය, දේශීය සහ ජාත්‍යන්තර සහයෝගීතාවයේ ඵලදායීතාව සහ ප්‍රතිලාභී අයිතීන් පිළිබඳ තොරතුරු වෙත ප්‍රවේශ වීමට සහ ඒවා ලබා ගැනීමට ඇති හැකියාව ඇතුළු විචල්‍යයන් රැසක් සැලකිල්ලට ගනිමින් ජාතික අවදානම් මර්දන හැකියාව ඇගැයීමට ලක් කරන ලදී. තව ද මෙම ඇගැයීම යටතේ, මූල්‍ය සහ මූල්‍ය නොවන අංශය මුදල් විශුද්ධිකරණ අවදානමට නතු වීමට ඇති ඉඩකඩ ද සැලකිල්ලට ගන්නා ලදී.
මූල්‍ය සහ මූල්‍ය නොවන අංශයේ මුදල් විශුද්ධිකරණ තර්ජන සහ එම අංශ මුදල් විශුද්ධිකරණ අවදානමට නතු වීමට ඇති ඉඩකඩ සැලකිල්ලට ගනිමින් මුදල් විශුද්ධිකරණ අවදානම් ඇගැයීමට ලක් කරන ලදී.
ඉහත සඳහන් කළ මුදල් විශුද්ධිකරණ සංරචක හා සමාන ව මෙරට ත්රස්තවාදයට මුදල් සැපයීමේ අවදානම, තර්ජන සහ ඊට නතු වීමට ඇති ඉඩකඩ ද මෙම ඇගැයීමේ දී තක්සේරු කරන ලදී. ඒ අනුව, ත්රස්තවාදයට මුදල් සැපයීමේ තර්ජන සහ ඊට නතු වීමට ඇති ඉඩකඩ යන සංරචකයන්හි සංයෝගයක් වන ශ්‍රී ලංකාවේ ත්රස්තවාදයට මුදල් සැපයීමේ ජාතික අවදානම ඉහළ මධ්‍යම මට්ටමේ පවතින බව තක්සේරු කර ඇති අතර එය පෙර ඇගැයීමේ පැවති මධ්‍යම මට්ටමේ සිට ඉහළ යෑමක් පෙන්නුම් කරයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය ප්රවාහයන් සහිතව, සැලකිය යුතු ගෝලීය ත්‍රස්තවාදී තර්ජන සහිත පරිසරයක පිහිටීම මත ත්රස්තවාදයට මුදල් සැපයීමේ තර්ජන මට්ටම ඉහළ මධ්‍යම මට්ටමක් දක්වා වර්ධනය වීම, මෙම අවදානම ඉහළ යාමට හේතු විය. මේ අතර, ත්රස්තවාදයට අරමුදල් සැපයීමේ අවදානමට නතු වීමට ඇති ඉඩකඩ තවදුරටත් මධ්‍යම මට්ටමේ නොවෙනස් ව පවතී.
මූල්‍ය ආයතන සහ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සහ වෘත්තීන් යන අංශ වල මුදල් විශුද්ධිකරණ සහ ත්රස්තවාදයට මුදල් සැපයීමේ අවදානම පහත පරිදි වේ;

ඉහත කරුණුවලට අමතර ව, ජාතික අවදානම් ඇගැයීම මගින් නෛතික පුද්ගලයින් (මුදල් විශුද්ධිකරණ අවදානම: ඉහළ මධ්‍යම, ත්රස්තවාදයට මුදල් සැපයිමේ අවදානම: මධ්‍යම) සහ නෛතික වැඩපිළිවෙල - Legal Arrangements (මධ්‍යම), අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් (පහළ මට්ටමේ සිට මධ්‍යම මට්ටම දක්වා), මූල්‍ය අන්තර්ග්‍රහණ නිෂ්පාදන/සේවා (පහළ මට්ටමේ සිට මධ්‍යම මට්ටම දක්වා) සහ ලාභ නොලබන සංවිධාන වල ත්රස්තවාදයට මුදල් සැපයීමේ අවදානම් ද (පහළ මට්ටමේ සිට මධ්‍යම මට්ටම දක්වා) ඇගැයීමට ලක් කරන ලදී.
ඉහත සඳහන් කරුණුවලට අමතර ව, මීට පෙර සඳහන් කළ පරිදි, සමූලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය කිරීම පිළිබඳ මෙරට පළමු ජාතික අවදානම් ඇගැයීම මෙවර දියත් කෙරුණු අතර එය මධ්‍යම මට්ටමක පවතින බව ශ්‍රේණිගත කරන ලදී. දේශීය වශයෙන් අවදානමට ලක්වීමට ඇති ඉඩකඩ සහ අවධානයට ලක් විය යුතු ගෝලීය තර්ජන එමගින් පෙන්නුම් කෙරිණි.
ජාතික අවදානම් ඇගැයීමේ නිරීක්ෂණ මත පදනම් ව ප්‍රධාන නිර්දේශ 15ක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සහ සමූලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය වැළැක්වීම සඳහා වන ජාතික ප්‍රතිපත්තිය 2026 – 2030 කාල පරිච්ඡේදයට අදාළ ව යාවත්කාලීන කරනු ඇත.
2024/25 ජාතික අවදානම් ඇගැයීමේ සංක්ෂිප්ත වාර්තාව මූල්‍ය බුද්ධි ඒකකයේ වෙබ් අඩවියේ (Sri_Lanka_NRA_on_ML_2024_25_Executive_Summary_S.pdf) සබැඳිය තුළින් ලබා ගත හැකි ය.
මෙම ඇගැයීම, මෙරට මුදල් විශුද්ධිකරණය, ත්රස්තවාදයට මුදල් සැපයීම, සමූලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය පිළිබඳ ව මනා අවබෝධයක් ලබා ගැනීමට සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන්ට සිය ආයතනික අවදානම් අවම කිරීමේ උපායමාර්ග ශක්තිමත් කිරීමට භාවිත කළ හැකි වැදගත් මූලාශ්‍රයකි. ඉහළ අවදානමක් ඇති ක්ෂේත්‍ර සඳහා වැඩි සම්පත් ප්‍රමාණයක් වෙන් කර එම අවදානම් අවම කිරීමට කටයුතු කිරීම මගින් පාර්ශ්වකරුවන්ට ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ සුපිළිපන්භාවය සහ ස්ථායීතාව සුරක්ෂිත කිරීමට හැකි ය. තව ද, මෙම නවතම ජාතික අවදානම් ඇගැයීමේ නිරීක්ෂණ සිය ආයතනික මුදල් විශුද්ධිකරණය, ත්රස්තවාදයට මුදල් සැපයීම සහ සමූලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය පිළිබඳ අවදානම් ඇගැයීමට ඇතුළත් කර ගන්නා ලෙස 2006 අංක 06 දරන මූල්‍ය ගනුදෙනු වාර්තාකරණ පනතේ 33 වන වගන්තිය යටතේ ආවරණය වන ආයතන වෙත උපදෙස් දෙනු ලැබේ.
මෙම ජාතික ප්රයත්නය සඳහා දායකත්වය ලබාදුන් සියලු ම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන වෙත ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය සිය කෘතඥතාව පළකර සිටී.
Video Story