November, 28, 2015
ලොව ප්‍රමුඛ පෙළේ ඛනිජ සම්පත් ගවේෂණ සමාගමක් වන ප්‍රංශයේ ටූටාල් (Total) සමාගම සමඟ ගිවිසුම් ගත වීමට රජය අදහස් කර තිබෙන බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පසුගියදා මාධ්‍ය හමුවක දී අනාවරණය කර සිටියේය. මේ වන විට මන්නරම් ද්‍රෝනියේ ඛනිජ තෙල් ළිං 4 ක පරීක්ෂණ කටයුතු කර තිබෙන බවත් එයින් ළිං දෙකක ස්වභාවික වායු නිධි තිබෙන බවට සොයා ගෙන ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් ප්‍රංශයේ ටූටාල් සමාගම සමඟ ඒකාබද්ධ අධ්‍යයනයකට ගිවිසුම් ගත වීමට රජය බලාපොරොත්තුවෙන් සිටී. මෙම ගිවිසුම වසර 17 ක කාලසීමාවක් සඳහා අත්සන් තැබෙන අතර, ආරම්භයේ දී 20:80 අනුපාතිකය යටතේ මෙහි ලාභය ශ්‍රී ලංකා රජය හා ටූටාල් සමාගම අතර බෙදී යන බවත් ඒ අතරේ ඔවුන්ගේ ආයෝජනය සොයා ගැනීමේ අවස්ථාව සමාගමට හිමිවන බවත් අමාත්‍යවරයා කියා සිටියේය. සමාගම විසින් ආයෝජනය සපුරා ගත්තායින් පසු මෙම ලාභ අනුපාතිකය වෙනස් වන බවත් එවිට ශ්‍රී ලංකාවට 80 ක් හා ප්‍රංශ සමාගමට 20 ක් වැනි අනුපාතිකයක් ඉක්මවාද ලාභාංශ බෙදී යාම සිදුවිය හැකි බවත් ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
ප්‍රංශයේ ටූටාල් සමාගම ලොව ප්‍රධාන පෙළේ ඛනිජ තෙල් හා ගෑස් සමාගම් හය අතර සිටින සමාගමකි. 2014 වසරේ දී එහි ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 260.02 ක් වූ අතර තෙල් හා ගෑස් සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් මෙම සමාගමේ විෂය පථයට වැටේ. බොරතෙල් හා ස්වභාවික ගෑස් ගවේෂණ, බලශක්ති උත්පාදනය, පිරිපහදු කිරීම්, පෙට්‍රෝලියම් නිෂ්පාදිත අලෙවිකරණය හා ජාත්‍යන්තර බොරතෙල් වෙළෙඳාම, ටූටාල් සමාගමේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික මෙහෙයුම් අතර වේ.
තවත් වසර 5 කින් පමණ මෙම ගෑස් පරිභෝජනයට ගත හැකි බවට විශ්වාස කරන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
Video Story