මනිපාල් හා රැෆල්ස් විශ්ව විද්‍යාල ශාඛාත් ලංකාවට

    March, 12, 2014

    රටවල් 54 ක ක්‍රියාත්මක සිසුන් 26,000 කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබන ඉන්දියාවේ මනිපාල් විශ්ව විද්‍යාලයේ ශාඛාවක් සහ සිංගප්පූරුවේ රැෆල්ස් විශ්ව විද්‍යාලයේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට සූදානම් වනබව අනාවරණය වේ.

    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න පැවසුවේ මෙම විශ්ව විද්‍යාලවල බලධාරීන් විසින් මේ පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍යංශය සමග මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බවයි.

    මෙම විශ්ව විද්‍යාලවල ශාඛා පිහිටුවීමට සූදානම් වන්නේ මෙරට විදේශීය පුද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමේ වැඩසටහන යටතේයි.

    “මෙම විශ්ව විද්‍යාල දෙක විසින් ඩොලර් මිලියන 200 ක් විතර ආයෝජනය කිරීමට සාකච්ඡා කර තිබෙනවා. මේ පිළිබඳව අපි තවමත් අවසන් තීරණයක් ගෙන නෑ. මෙම විශ්ව විද්‍යාල ශාඛා ආරම්භ කිරීමට අවධානය යොමුවී තිබෙන්නේ කටුනායක ගුවන් තොටුපොළට සමීපයෙනුයි.“

    යනුවෙන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    අප මීට පෙර පළමු වරට අනාවරණය කළ ආකාරයට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමද පුද්ගලික විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට සූදානම් වේ.

    පසුගියදා බ්‍රිතාන්‍යයේ සෙන්ට්‍රල් ලැන්කැෂයර් විශ්ව විද්‍යාලයේ ශාඛාවක් ආරම්භ කිරීමටද ගම්පහ ප්‍රදේශයේ මුල්ගල් තැබීය.