මම සෑහීමකට පත් වෙන්නේ අපනයන ආදායම දෙගුණ වුණාම – අගමැති රනිල් කියයි

    February, 1, 2018

    මෙරට ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම හා විදේශ ආයෝජන ලැබුණේ 2017 වසරේ දී බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊයේ (31) වවුනියාවේ දී පැවත් ජනරැළියකට එක්වෙමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය. කෙසේ වෙතත් ඒ පිළිබඳ .මන් සෑහීමකට පත්නොවන බවත් මෙය දෙගුණ කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදී.

    “මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ මේ රටේ ආණ්ඩුවට ආදායමක් තිබුණේ නැහැ. වැඩ කළේ ණය අරගෙන. ණය ගෙව්වෙත් ණය අරගෙන. විශාල කඩා වැටීමක් තිබුණා.“

    “දැන් ආණ්ඩුවේ ආදායම වැඩි කරගෙන තිබෙනවා. අලුත් ව්‍යාපෘති ආරම්භ කරලා තිබෙනවා. දැන් ණය ගෙවන්න අපිට ණය ගන්න වුවමනා නැහැ. අපේ මුදල්වලින් ඒ ණය ගෙවන්න පුළුවන්. දැන් තමයි රටේ හැමතැනම සංවර්ධනය කරලා රැකියා දෙන එක පටන් අරන් තියෙන්නේ. රැකියා පොරොන්දු වෙලා මදි. රැකියා බිහිකරන සැලැස්මක් තියෙන්න ඕනේ.“

    “වැඩිම අපනයනය මේ රටේ ඉතිහාසයේ ලැබුණේ. 2017, ඩොලර් බිලියන 15 යි. ඒ වගේම තමයි වැඩිම විදේශ ආයෝජන ලැබුණේ 2017, ඩොලර් බිලියන 1 ½ යි. මේවායින් මම නම් සෑහීමකට පත්වෙන්නේ නැහැ. මේක දෙගුණයක් කරන්න ඕනෑ, මේ රටේ රැකියා ප්‍රශ්නේ විසඳන්න. ඒ වැඩකටයුතු ආරම්භ කරන්න තියෙනවා.“

    “ඒ වගේම අපි ඊළගට දියුණු කරනවා ත්‍රිකුණාමලේ. ත්‍රිකුණාමලේ මහනුවර එකතු කරනවා. බෙංගාල බොක්කේ හොඳම වරාය ත්‍රිකුණාමලේ.ඉන්දියාව දියුණු වෙන්න, බංග්ලාදේශය දියුණුවෙන්න, අපේ ත්‍රිකුණාමලේත් දියුණු වෙනවා. තමිල්නාඩු, ආන්ද්‍රා, ඔරිස්ස, බෙංගාල්, බංග්ලාදේශය, එහෙ දියුණු වෙනවා.“

    “දැනටම සිංගප්පූරු සමාගමක් ත්‍රිකුණාමලය සංවර්ධන සැලැස්ම සකස් කර ගෙන යනවා. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇමතිතුමා එක්ක ඒ වැඩ කටයුතු කරනවා.“