මර්බන් බොරතෙල් මිල ඉතිහාසයේ ඉහළම අගයට පැමිණෙයි

    March, 23, 2026

    ගෝලීය ඉන්ධන වෙළෙඳපොළේ WTI සහ බ්‍රෙන්ට් යන බොරතෙල් වර්ගයන් හා සමාන වැදගත්කමක් ඇති මර්බන් බොරතෙල් මිල අද (23) ඉතිහාසයේ ඉහළම මිල වාර්තා කරන ලදී.

    ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.30 පමණ වන විට මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 157.90ක් ලෙසින් වාර්තා වී තිබුණි. මේ අතර අද දිනය තුළ මර්බන් බොරතෙල් බැරලයක් ඩොලර් 160 මට්ටම ද එක් අවස්ථාවක පසුකර තිබෙනු නිරීක්ෂණය විය.

    මර්බන් බොරතෙල් යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි නිපදවනු ලබන බොරතෙල් වර්ගයකි. මෙය පිරිපහදුව සඳහා ඉතා පහසු පිරිසිදු, සැහැල්ලු සහ සල්ෆර් ගතිය අවම බොරතෙල් වර්ගයක් ලෙසින් සැලකේ. එය පෙට්‍රල්, ඩීසල්, ගුවන් යානා ඉන්ධන වැනි නිෂ්පාදිත සඳහා ඉතා යෝග්‍ය බව පැවසේ. විශේෂයෙන්ම ආසියානු කලාපයට විශාල වශයෙන් මෙම මර්බන් බොරතෙල් වර්ගය අපනයන කෙරෙන අතර චීනය, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව එහි ප්‍රමුඛ ගැනුම්කරුවන් වේ. එය ලෝක වෙළෙඳපොළේ WTI, බ්‍රෙන්ට් වැනි ප්‍රසිද්ධ බොරතෙල් වර්ගයන් හා සමාන වැදගත්කමක් දරනු ලබයි.

    මර්බන් බොරතෙල් අපට වැදගත් වන්නේ පසුගිය කාලයේ දී වැඩි වශයෙන් එම බොරතෙල් වර්ගය ශ්‍රී ලංකාවට ආනයනය කර තිබුණු බැවිනි. එසේම ඉදිරි කාලය සඳහා මර්බන් බොරතෙල් ආනයනය සඳහා කොන්ත්‍රාත්තු ලබා දීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබුණි. කෙසේවෙතත් මේ වන විට අදාල කොන්ත්‍රාත්තු වලංගු නොවන බව වාර්තා වේ.

    පසුගිය කාලයේ දී ශ්‍රී ලංකාවට මර්බන් බොරතෙල් ආනයන කොන්ත්‍රාත්තු Vitol Asia, BB Energy Asia, Aditya Birla Global Trading, යනා දී සිංගප්පූරු සමාගම්වලට වරින් වර ලබා දී තිබුණි.