මර්සිඩීස් බෙන්ස් වරදකරුවන් වෙයි

    August, 19, 2014

    චීනයේ ක්‍රියාත්මක මෝටර් රථ අලෙවි සමාගම් සම්බන්ධයෙන් එරට විසින් ආරම්භ කර තිබෙන ඒකාධිකාරී විරෝධී පරීක්ෂණ (anti-monopoly investigation) වලින් මර්සිඩීස් බෙන්ස් සමාගම මෝටර් රථ අමතර කොටස්වල මිල අයථා අන්දමින් ඉහළ දමා ඇතැයි වරදකරුවන් කර තිබෙන බව වාර්තා වේ.

    මේ බව Xinhua මාධ්‍ය වාර්තා කරන අතර ඒ සම්බන්ධයෙන් පනවා තිබෙන දඩය පිළිබඳව වාර්තා නොවේ.

    මේ අතර, මෙම පරීක්ෂණ වලින් BMW, Audi සහ Chrysler යන සමාගම් සඳහාද යම් යම් සම්බාධක පනවා තිබෙන බව වාර්තා වේ.

    චීන රජය විසින් එරට ක්‍රියාත්මක දේශීය හා විදේශීය මෝටර් රථ සමාගම් 100 කට වැඩි ප්‍රමාණයක් මෙම පරීක්ෂණයට භාජනය කර තිබෙන අතර පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා පනවා තිබෙන චීන ඒකාධිකාරී විරෝධී නීති (China’s anti-monopoly law) පුද්ගලික මෙන්ම රජයේ ආයතන වලට එකසේ බලපාන බව සඳහන්ය.

    මෙම පරීක්ෂණ වලින් ඒකාධිකාරී හැසිරීම් නතර කර සාධාරණ තරගයක් ඇති කිරීමට අරමුණු කර තිබෙන අතර මෙවර චීන මෝටර් රථ කර්මාන්තය මෙම පරීක්ෂණයට බඳුන් කර තිබෙන්නේ ලෝකයේ දැවැන්තම මෝටර් රථ වෙළඳ පොළ වන එරට වෙළඳ පොළේ තිබෙන ඒකාධිකාරී තත්ත්වයන් අවම කර පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමේ අරමුණෙනි.

    මීට පෙර මෙම පරීක්ෂණ සඳහා චීනයේ ක්‍රියාත්මක  ඖෂධ, තාක්ෂණ මෙන්ම ආහාර සමාගම් යටත් කර තිබුණි.