මසක් තුළ දී ඩොලර් බිලියනයක් ලැබෙන බවට මුදල් ඇමතිගෙන් ප්‍රකාශයක්

    December, 24, 2015

    විදේශ ප්‍රේෂණ හරහා ඩොලර් බිලියනයක මුදලක් මාසයක් ඇතුළත ලැබෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා රොයිටර් පුවත් සේවය වෙත කියා තිබේ. මේ හේතුවෙන් රටේ විදේශ විනිමය සංචිත ඉහළ නගිනු ඇති බව හෙතෙම අවධාරණය කර සිටී.

    “මෙම විදෙස් ආයෝජන යුරෝපයේ ආයෝජකයින් 20 දෙනෙකුගෙන් ලැබීමට නියමිතයි. මෙයින් ඩොලර් මිලියන 500 ක් මෙම මාසය තුළ දී සහ ඉතිරි ඩොලර් මිලියන 500 ක මුදල එළඹෙන ජනවාරි මාසය තුළ දී ලැබෙනු ඇති“, යනුවෙන් මුදල් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

    පසුගිය දා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ විදෙස් ආයෝජකයින්ගේ තැන්පතු මෙරටට ගෙන ඒම සඳහා ඔවුන් දිරිගන්වන බවයි. 2% ක ප්‍රතිලාභයක් මත ඔවුන්ගේ ඩොලර් තැන්පතු මෙරටට ගෙන ආ හැකි බවත් ඩොලර් තැන්පතු සඳහා සෘණාත්මක ප්‍රතිලාභ ලබා දෙන වෙනත් රටවල් හා සැසඳීමේ දී මෙය විශාල ප්‍රතිලාභයක් බවත් ඔහු මෙහිදී පැවසීය.