මහරාජා ෆුඩ්ස් කොටස් වෙළෙඳපොළ සම්ප්‍රාප්තියට ඇමරිකානු තානාපතිනිය එක්වෙයි

    July, 26, 2024

    කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කෙරුණු නවතම සමාගම වන මහරාජා ෆුඩ්ස් ලිමිටඩ් හි ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු අද (26) පෙරවරුවේ ආරම්භ විය.

    මෙය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය පදනම් කරගත් සමාගමක්, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරුණු පළමු අවස්ථාවයි.

    මූලික මහජන කොටස් නිකුතුවේ දී රු. 5.00 බැගින් මහරාජා ෆුඩ්ස් ලිමිටඩ් හි කොටස් නිකුත් කෙරුණු අතර අද (26) දින රු. 5.00 සිට රු. 5.50 දක්වා මිල ගණන්වල එම කොටස් ගනුදෙනු වී තිබුණි.

    අද දින මහරාජා ෆුඩ්ස් ලිමිටඩ් හි ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹීමේ උත්සව අවස්ථාව සඳහා මෙරට එක්සත් ජනපද තානාපතිනි ජූලි චංග් මහත්මිය ද එක්ව සිටීම විශේෂත්වයකි. ඒ USAID CATALYZE PSD මගින් අරමුදල් ලබා දීමේ වැඩසටහන හරහා සහාය දක්වන සමාගම් අතරට Maharaja Foods සමාගම ද එක්ව තිබීම හේතුවෙනි. මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකයින් ප්‍රමුඛ ආහාර, කෘෂි හා තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රවල ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සදහා විශේෂ අවධානයක් යොමු කරමින්, ව්‍යාපාර වර්ධනය සදහා අරමුදල් සැපයීම සිදු කරනු ලැබේ.

    මහරාජා ෆුඩ්ස් ලිමිටඩ් හි ද්විතීයික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කරමින්, කොටස් වෙළෙඳපොළ සම්ප්‍රදායික ගනුදෙනු ඇරඹීමේ සීනුව නාද කිරීමේ උත්සව අවස්ථාවක් අද පෙරවරුවේ සංවිධානය කර තිබුණි. ඒ සඳහා මෙරට ඇමරිතානු තානාපතිනි ජුලි චංග්, කොටස් වෙළෙඳපොළ සභාපති ඩිල්ෂාන් වීරසේකර, මහරාජා ෆුඩ්ස් ලිමිටඩ් සභාපති විජයානාන්ත් ගුගනාදන් ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සමඟ සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.