මහවැලි ජලාශවලට පාවෙන සූර්ය බලශක්ති නිෂ්පාදනාගාර

    March, 1, 2017

    තාප විදුලි ජනනය අඩු කරමින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙරෙහි යොමු වීමේ පියවරක් වශයෙන් මහවැලි ආර්ථික කලාපයන්හි පිහිටා තිබෙන ජලාශවල මතුපිට පාවෙන සූර්ය විදුලිබලාගාර ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත.

    ඒ අනුව, එහි පළමු පියවර වශයෙන් මාදුරු ඔය ජලාශයේ සම්පූර්ණ වපරිසරියෙන් 4%කටත් අඩු ප්‍රමාණයක්, එනම් අක්කර 500ක පමණ ප්‍රමාණයක් යොදාගනිමින් මෙගාවොට් 100ක ධාරිතාවකින් යුත් සූර්ය බලශක්ති නිෂ්පාදනාගාරයක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර තරගකාරී යෝජනා (REP) කැඳවීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා; විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා; සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.