මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇ.ඩො. මිලියන 453

    May, 21, 2018

    ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක වෙන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රධානතම වැඩසටහන් අතුරින් එකකි. මෙහි සමස්ථ ආයෝජන පිරිවැය ඇ.ඩො. මිලියන 675 ක් වන අතර එයින් ඇ.ඩො. මිලියන 453 ක මුදලක් ආසියානු සංවර්ධන බැංකුව මගින් බහුඅදියර මූල්‍යයන පහසුකම යටතේ සපයනු ලැබේ. ශ්‍රී ලංකා රජය මෙහි පළමු අදියර සදහා ඇ.ඩො. මිලියන 150 ක මුදලක් ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ දැනටමත් ණය ගිවිසුම් දෙකකට එළැඹී ඇත.

    ඉහල ඇළහැර ව්‍යාපෘතිය, වයඹ ඇල ඉදිකිරීමේ ව්‍යාපෘතිය සහ මිණිපේ වම් ඉවුර ඇල පුනරුත්ථාපන වයාපෘතිය යන ප්‍රධාන ව්‍යාපෘති තුන මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම වැඩසටහන යටතේ ජලය ගෙනයාමේ සහ රදවා ගැනීමේ නව සහ වැඩිදියුණු කල යටිතල පහසුකම් ඉදිකරන අතර එය වයඹ, උතුරු මැද හා මධ්‍යම පළාත් වල කෘෂිකාර්මික ඉඩම් වල ඵලදායීතාවය ඉහල නැංවීමටත් හේතු වනු ඇත. මෙම වැඩසටහන යටතේ කිලෝ මීටර් 138 ක දිගින් යුතු උමං ජල මාර්ග ඇතුළුව ඇලමාර්ග ඉදිකරනු ලැබේ. ඊට අමතරව කිලෝ මීටර් 158 ක දිගින් යුතු ඝන මීටර් මිලියන 36 ක ධාරිතාවයකින් යුතු නව ජලාශ දෙකක් ඉදිකිරීම සහ කිලෝ මීටර් 74 දිගින් යුතු මිණිපේ වම් ඉවුර ඇළ පුනරුත්ථාපනය කිරීම සිදුකරනු ඇත.

    සම්පූර්ණ වැඩසටහන මඟින් ඉහළ ඇළහැර ව්‍යාපෘතිය යටතේ ගොවි පවුල් 25,000 කටද, වයඹ ඇළ ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ ගොවිපවුල් 40,000 කටද, මිණිපේ වම් ඉවුර ඇළ පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ගොවිපවුල් 15,000 කටද සෘජුවම ප්‍රතිලාභ හිමිවනු ඇත. මීට අමතරව ආරක්ෂිත පානීය ජලය සැපයීම මඟින් එම පෙදෙස් වල වෙසෙන ජනතාව නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරුවීමේ අවධානම වැලැක්වීමට හේතුවනු ඇත.

    යෝජිත දෙවන අදියර යටතේ, පහත සදහන් සංරචක තුන මුල්‍යයනය කරනු ලැබේ.

    මොරගහකන්ද සහ හුරුළු වැව ජලාශ සම්බන්ධ කරන කිලෝමීටර් 62 ක් දිග ඉහළ ඇළහැර මාර්ගයේ කිලෝමීටර 28 ක් දිග උමං මාර්ගයේ කොටසක් ඉදිකිරීම

    කළුගග හා මොරගහකන්ද ජලාශය සම්බන්ධ කරන කිලෝමීටර් 8.8 ක් පමණ දිග ඇළ මාර්ගයේ කොටසක් ඉදිකිරීම

    පළමු අදියරේදී ඉදිකිරීම ආරම්භකළ මහකිතුල හා මහකිරුල ජලාශ, මහකිතුල අභ්‍යන්තර ඇලමාර්ගය ඉදිකිරීම තවදුරටත් සිදුකිරීම

    දෙවන අදියර සදහා මුළු ආයෝජන පිරිවැය ඇ.ඩො. මිලියන 242 කි. ඒ සදහා රජයේ දායකත්වය ඇ.ඩො. මිලියන 32 ක් වන අතර ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 210 ක් ණය මුදල් දෙකක් ලෙස ලබාගනු ලැබේ. මෙම වැඩසටහන මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලැබේ.

    මේ සම්බන්ධයෙන් වන ණය ගිවිසුම් දෙක සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙනුත්, ආසියානු සංවර්ධන බැංකුවෙ නේවාසික දූත මණ්ඩල අධ්‍යක්ෂ ශ්‍රී විදෝවතී මහත්මිය ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙනුත් 2018 මැයි 18 වන දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අත්සන් තබන ලදී.