මහා වැට් වංචාවේ වරදකරුට ඉතිහාසයේ ලොකුම දඩය ගහයි

    May, 8, 2014

    ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම වැට් බදු වංචාව ලෙසින් සැලකෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රුපියල් බිලියන 04 කට ආසන්න වැට් බදු වංචාවට අදාළ නඩුවේදී චෝදනා 34 කට වරද පිළිගත් එම නඩුවේ පළමු විත්තිකරු වන හිටපු දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස් (වැට්) ඥානසිරි ජයතිලකට රුපියල් බිලියන 12 කට ආසන්න දඩයක් කොළඹ මහාධිකරණය විසින් නියම කරයි.

    මෙම නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය විසින් මෙම නියෝගය කළ අතර චෝදනා 34කට අවුරුදු තුන බැගින් වසර 102ක සිරදඬුවම එකවර ගෙවී යන සේ නියම කර ඇත.

    මෙම මහා පරිමාණ වංචාව 2002-2004 කාලයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ සිදුව තිබූ අතර මෙම නඩුවේ සිටින විත්තිකරුවන් ප්‍රමාණය 14 ක්.

    මින් විත්තිකරුවන් 08 දෙනෙකුම විදෙස්ගතව සැඟවී සිටින අතර ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

    එම නඩුවේ දෙවන විත්තිකාර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ආදායම් කොමසාරිස් ආනන්ද අඹේපිටිය ඇතුළු විත්කරුවන් පස්දෙනකු පෙර අවස්ථා දෙකකදී වරද පිළිගැනීම නිසා මහාධිකරණ විනිසුරුවරිය විසින් දඩ හා සිරදඬුවම් නියම කර තිබුණි.