මහ බැංකුවේ අළුත්ම පොලී තීරණය මෙහෙමයි. ණය නගී

    October, 17, 2014

    බැංකුවල පොලී අනුපාතය තීරණය වීමට බලපාන ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත (Policy Interest Rates) මේ ඔක්තෝම්බර් මාසයේදීත් වෙනස් නොකිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

    මහ බැංකුව පවසා තිබෙන්නේ මෙරට උද්ධමනය අඛණ්ඩවම පහළ මට්ටමක තිබෙන බවත් ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන් කැපී පෙනෙන ලෙස අඩුවීම නිසා දේශීය වෙළඳ පොළේද ඛනිජ තෙල් මිල ගණන් අඩුකිරීමට රජයට හැකිවූ බවයි. මෙම මිල අඩුකිරීම් උද්ධමනය අඩුවීමට බලපා තිබෙන බව මහ බැංකුව සඳහන් කර ඇත.

    මෙම තත්ත්වය නිසා ඉදිරියේදී උද්ධමනය සියයට 4-5 යන මට්ටමක පවතිනු ඇතැයි උපකල්පනය කර තිබුණත් එයටත් වඩා උද්ධමනය අඩුවනු ඇතැයි සඳහන්ය.

    මහ බැංකුව බලාපොරොත්තු වූ පරිදිම මේ වනවිට මෙරට දිගු කාලීන පොලී අනුපාතය අඩු වෙමින් තිබෙන බවත් පසුගිය අගෝස්තු මාසයේදී මෙරට බැංකු වලින් පුද්ගලික අංශය ලබාගත් ණය රුපියල් බිලියන 47.7 කින් වර්ධනය වී තිබෙන බවත් බැංකුව අනාවරණය කර තිබේ.

    පවතින අඩු පොලී අනුපාත හේතුවෙන් පුද්ගලික අංශය බැංකු ක්‍රමයෙන් ලබාගන්නා ණය අඛණ්ඩවම වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කර තිබෙන අතර පවතින අඩු උද්ධමනය හමුවේ බැංකු වලට පොලී අනුපාතය තවදුරටත් අඩු කිරීමට හැකියාව ඇතැයි මහ බැංකුව පෙන්වා දී ඇත.

    මේ අතර, බැංකුව පවසා තිබෙන්නේ මේ වසරේ මුල් මාස 08 තුළදී රජය විසින් වාණිජ බැංකු වලින් ලබාගත් ශුද්ධ ණය රුපියල් බිලියන 60.9 කින් වර්ධනය වී තිබෙන බවයි.

    එසේම, බැංකු අංශයේ ශුද්ධ විදේශීය වත්කම් මේ වසරේ මුල් මාස අට තුළදී රුපියල් බිලියන 289 කින් වර්ධනය වී තිබෙන අතර මෙයින් පෙන්නුම් කරන්නේ රාජ්‍ය හා පුද්ගලික අංශය විසින් සිදුකළ විදේශීය අරමුදල් ලබාගැනීම්වල වර්ධනයයි.

    මේ වසරේ මේ දක්වා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 0.14 කින් අධිප්‍රමාණය වී තිබෙන අතර ඔක්තෝම්බර් 13 වනදා වනවිට මෙරට තිබෙන විදේශ සංචිතයේ වටිනාකම රුපියල් බිලියන 8.7 කි.