මහ බැංකුව ඩොලර් මිල දී ගත් හැටි හෙළිවෙයි

    November, 11, 2024

    2024 ඔක්තෝබර් මාසය තුළ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 189.5 ක් මිල දී ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇත.

    මෙම ඩොලර් මිල දී ගැනීමත් සමඟම 2024 මුල් මාස 10 තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇති සමස්ත ඩොලර් ප්‍රමාණය, ඩොලර් මිලියන 2,470.4 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ අතර 2024 වසරේ මෙම කාලය තුළ දී මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ අලෙවි කර ඇති ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 160.5 ක් ලෙසින් වාර්තා වේ.

    මෙම දත්ත වාර්තා අනුව ශුද්ධ වශයෙන් 2024 වසරේ මුල් මාස 10 තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 2,309.9 ක්  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සතිපතා ප්‍රකාශයට පත් කරනු ලබන සතිපතා ආර්ථික දර්ශක වාර්තාවන් ඇසුරින් මෙම ගණනය කිරීම් සිදුකර තිබේ.