මහ බැංකුව නිත්‍ය තැන්පතු හා නිත්‍ය ණය පොළී අනුපාතික ඉහළ දමයි

    February, 20, 2016

    ඊයේ පැවති මහ බැංකු මුදල් මණ්ඩල හමුවේ දී 2016 පෙබරවාරි මාසය සඳහා වන මුදල් ප්‍රතිපත්ති විවරණය එළි දක්වමින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 6.5% දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 8% දක්වා ඉහළ නැංවීමට තීරණය කරන ලදී. මෙහිදී තවදුරටත් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 7.5% මට්ටමේ රඳවා ගැනීමට තීරණය කෙරිණි.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වයවස්ථාපිත සංචිත අනුපාතය 2016 ජනවාරි මස 16 වැනි දින සිට ඉහළ දැමීමට ගනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගය තුළින් දේශීය මුදල් වෙළෙඳපොළෙන් අතිරික්ත රුපියල් ද්‍රවශීලතාවෙහි කොටසක් ස්ථිර ලෙස අවශෝෂණය කර ඇති බවත් වෙළෙඳපොළ තුළ අතිරික්ත ද්‍රවශීලතාව පහළ යෑම වෙළෙඳපොළ පොළී අනුපාතික ඉහළ යෑම කෙරෙහි හේතු වී ඇති බවත් මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටී. ඒ අනුව බොහෝ වෙළෙඳපොළ පොළී අනුපාතික 2015 අප්‍රේල් මස සිදු කළ ප්‍රතිපත්ති පොළී අනුපාතික පහළ හෙළීමට පෙර පැවති මට්ටම දක්වා වෙනස් වී තිබේ.

    මෙම වර්ධනය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතදී ගනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ වෙළෙඳපොළ පොළී අනුපාතික යම් ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළද, සමස්ත ආර්ථිකයේ ස්ථායීතාවට යම් අවදානමක් පවතින බව 2016 පෙබරවාරි 19 දින පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලය නිරීක්ෂණය කර ඇත. මෙහිදී විශේෂයෙන්ම යටිදැරි උද්ධමනය අඛණ්ඩව ඉහළ යන අතර දේශීය ණය ප්‍රසාරණය හේතු කොට ගෙන පුළුල් මුදල් ඉහළ වේගයකින් වර්ධනය වීම සලකා ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනාත්මක පීඩනය අවම කිරීම සඳහා පූර්ව ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස වී තිබේ.

    ඒ අනුව 2016 පෙබරවාරි 19 වන දින අවසානයේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 6.5% දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 8% දක්වා වන පරිදි පදනම් අංක 50 බැගින් ඉහළ නැංවීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.