මහ බැංකුව බරටම ඩොලර් ගනී

    April, 7, 2025

    2025 මාර්තු මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 401.9ක ප්‍රමාණයක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    2025 ජනවාරි මාසය තුළදී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 47.3ක් හා 2025 පෙබරවාරි මාසයේ දී ඩොලර් මිලියන 78.3 ක් වශයෙන් ඩොලර් මිල දී ගැනීමට මහ බැංකුව කටයුතු කර තිබුණි.

    මේ අතර 2025 ජනවාරි මාසයේ දී ඩොලර් මිලියන 35ක් හා 2025 පෙබරවාරි මාසයේ දී ඩොලර් මිලියන 8ක් අලෙවි කර ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

    මේ අනුව ශුද්ධ වශයෙන් 2025 මුල් මාස 03 තුළදී ඩොලර් මිලියන 484.5ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇත.

    පසුගිය 2024 වසර තුළදී සමස්තයක් ලෙස ඩොලර් මිලියන 2,841 ක් හෙවත් ඩොලර් බිලියන 2.84ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළින් මිල දී ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබුණි.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සතිපතා ප්‍රකාශයට පත් කරනු ලබන සතිපතා ආර්ථික දර්ශක වාර්තාවන් ඇසුරින් මෙම ගණනය කිරීම් සිදුකර තිබේ.