මහ බැංකු අධිපතිවරයාට විදෙස් ගමන් වාරණයක්

    April, 17, 2015

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ ඉල්ලීම මත ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට මාස තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි විදේශ ගතවීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් වාරණයක් පනවා තිබේ.

    මේ බව, ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපොළටද දැනුම් දී ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා නිකුත් කළ ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුව හේතුවෙන් අනිවාර්ය නිවාඩු ගොස් සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ඊයේ පැය 06 ක පමණ කාලයක් ප්‍රශ්න කළේය.
    අනාවරණය වන ආකාරයට මෙම බැඳුම්කර නිකුතුවට එරෙහිව ලැබී තිබෙන පැමිණිල්ලකට අදාළ ප්‍රකාශක් මහ බැංකු අධිපතිවරයාගෙන් මෙහිදී සටහන් කරගෙන ඇත.

    ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වන නීතිඥ චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු තවත් දෙදෙනෙකු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක 30 අවුරුදු බැඳුම්කර නිකුතුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු කළේය.

    මෙම පෙත්සම ගොනුකිරීම සඳහා එක්වූ අනිකුත් දෙදෙනා වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කළ ආචාර්ය ජී. උස්වත්ත ආරච්චි මහතා සහ සිවිල් ඉංජිනේරුවෙකු වන ඒ.සී. විශ්වලිංගම් මහතායි.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක්තරා ප්‍රාථමික අලෙවිකාර සමාගමකට (Primary Dealer) ප්‍රාග්ධන ලාභයක් ලබාගැනීමට හැකිවන පරිදි වසර 30 කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර පසුගියදා අලෙවි කර ඇතැයි එල්ලවී තිබෙන චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට රජය විසින් මේ වනවිට ත්‍රි පුද්ගල කමිටුවක්ද පත්කර ඇත.

    රුපියල් බිලියනයක් වටිනා වසර 30 කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර (Treasury Bonds) නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා දැනුම් දී තිබුණු අතර එයට අදාළව ප්‍රාථමික අලෙවිකාර සමාගම් (Primary Dealers) ලංසු ඉදිරිපත් කර තිබුණි.

    කෙසේවෙතත්, මෙම සැකකාර ප්‍රාථමික තැරැව්කාර සමාගම (Primary Dealer) රුපියල් බිලියන 05 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර ඉල්ලා මෙම වෙන්දේසියට ලංසුවක් ඉදිරිපත් කර තිබුණු බවත් එම ලංසුවේ පොලී අනුපාතය සියයට 12.5 ක් වැනි ඉහළ අගයක් ගත් බවත් වෙළඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

    මහ බැංකුව විසින් මුලින් රුපියල් බිලියනයක් වටිනා බැඳුම්කර නිකුත් කරන බව පවසා පසුව නිකුත් කළ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 10 ක් දක්වා වැඩි කිරීමත් අනිකුත් සමාගම් සියයට 11.73 ක් වැනි සාමාන්‍ය බර තැබූ පොලී අනුපාතයකට මෙම බැඳුම්කරය මිලදී ගනිද්දී මෙම සමාගම ඉල්ලා තිබුණු රුපියල් බිලියන 05 ක් වටිනා සමස්ත බැඳුම්කර ප්‍රමාණයම මිලදී ගැනීමත් ඉන් වැඩි කොටස සියයට 12.5 ක් වැනි ඉහළ පොලී අනුපාතයට මිලදී ගැනීමත් සැක සහිත බවට චෝදනාවක් මේ වනවිට එල්ලවී තිබේ.

    භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකරන්නේ රජයට අවශ්‍ය ණය සම්පාදනය කර දීමයි. මෙහිදී, මහ බැංකුව විසින් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රාථමික අලෙවිකාර සමාගම් (Primary Dealers) විසින් මිලදී ගන්නා අතර පසුව ඔවුන් විසින් ඒවා නැවත ආයෝජකයින්ට ද්විතියික වෙළඳ පොළේදී අලෙවි කරයි.

    (භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීම පිළිබඳව මෙම ලින්ක් එකට ගොස් අවබෝධය ලබාගත හැකිය http://www.cbsl.gov.lk/htm/sinhala/07_af_2pdm/pdm_2.html)

    මේ අනුව, ගත්විට පසුගියදා මහ බැංකුව සිදුකළ වසර 30 කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී මෙම ප්‍රාථමික අලෙවිකාර සමාගමට (Primary Dealer) අනිකුත් ප්‍රාථමික අලෙවිකාර සමාගම් වලට වඩා වැඩි පොලී අනුපාතයකට රුපියල් බිලියන 05 ක් වැනි විශාල වටිනාකමක් සහිත භාණ්ඩාගාර බැඳුම්කර තොගයක් මිලදී ගැනීමට ඉඩ ලබාදීම තුළින් එම සමාගමට විශාල ප්‍රාග්ධන ලාභයක් ලබාගැනීමේ හැකියාව ලැබෙන්නට පුළුවන් බව මේ පිළිබඳව චෝදනා ඉදිරිපත් කරන පාර්ශවය ඉදිරිපත් කරන තර්කයයි.