මහ වැසි මැද කොළඹ කොටස් නොසැළී පෙරට

    May, 16, 2016

    පසුගිය ජනවාරි 08 වන දින සිට මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඉහළම මට්ටමට පැමිණීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ දී සමත්විය. දිනය අවසානයේ දී එය ඒකක 28.56 කින් ඉහළ ගොස් ඒකක 6,708.40 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව 0.43% ක ඉහළ යාමකි.

    මේ වන විට දිවයින පුරා ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ සාමාන්‍ය ජනජීවිතයට විශාල වශයෙන් බලපෑම් එල්ල වී තිබෙන පසුබිමක පවා කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරකම් අද දින සාමාන්‍ය ආකාරයෙන් සිදුවනු නිරීක්ෂණය කළ හැකිවිය. දිනය අවසානයේ දී රුපියල් මිලියන 565.27 ක පිරිවැටුමක් වාර්තා වී තිබුණි. මින් රුපියල් මිලියන 472.49 ක් දේශීය මිල දී ගැනීම් ලෙසත් රුපියල් මිලියන 92.78 ක් විදේශීය මිල දී ගැනීම් ලෙසත් සටහන්විය. දිනය තුළ වාර්තා වූ දේශීය විකුණුම් වටිනාකම රු. මිලියන 422.13 කි. විදේශීය විකුණුම් වටිනාකම රු. මිලියන 143.14 ක් ලෙස දැක්විණි.

    දිනය තුළ ගනුදෙනුවලින් රු. මිලියන 106.59 ක් ඩිස්ටිලරීස් සමාගමේ කොටස් ගනුදෙනුවලින් වාර්තා වූ අතර සෙසු සමාගම් අතුරින් රුපියල් මිලියන 50 ඉක්මවා කොටස් ගනුදෙනු වී තිබුණේ එල්.බී. ෆිනෑන්ස් සමාගමේ පමණි. දිනය තුළ වාර්තා වූ එකම ගිවිසාගත් ගනුදෙනුව ඇක්සෙස් ඉංජිනියරින්ග් කොටස් ගනුදෙනුවලින් වාර්තා වූ අතර රු. 23.30 බැගින් වූ කොටස් මිලියන 1.5 ක් එහිදී ගනුදෙනු විය. රු. මිලියන 34.95 ක පිරිවැටුමක් ඉන් වාර්තා වූයේය.

    Video Story

    Stock Market

    Exchange Rates