මාර්තු මාසයේ ලක්ෂ 3ක සංචාරක ඉලක්කය සපුරාගත නොහැකියි – නි. ඇමතිගෙන් ප්‍රකාශයක්

    March, 3, 2026

    සංචාරක කර්මාන්තයට අදාලව සතියකට ඩොලර් මිලියන 10ත් 12ත් අතර අහිමි වීමක්

    මාර්තු මාසයේ ඉලක්කගත සංචාරක පැමිණීම වූ ලක්ෂ 3ක සංචාරක පිරිස, මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුධමය තත්ත්වය හමුවේ සපුරාගැනීමට නොහැකි වන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.

    ඔහු මේ බව පවසා සිටියේ අද (03) මාධ්‍ය හමුවක දී විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

    "මාර්තු මාසයේ ලක්ෂ 3ක් වැනි සංචාරකයින් පිරිසක් ආකර්ෂණය කරගන්න අපි බලාපොරොත්තුවෙන් හිටියා. කෙසේ වෙතත් යම් අඩු වීමක් තියනවා අනිවාර්යෙන්ම. විශේෂයෙන් යුරෝපාකරයෙන් සංචාරකයින් අපිට පැමිණෙන්නෙ middle east එක හරහා. middle east එකේ තියන ඩුබායි, අබුඩාබි, කටාර් මේ වගේ ගුවන්තොටුපළවල් වසා දැමීමත් එක්ක අඩුවක් තියනවා. නමුත් වැඩිම වෙළඳපොළ අපේ ඉන්දියාව. ඉතින් ඒ නිසා ඉන්දියාවේ අපේ විශාලම සංචාරක වෙළඳපොළට ගැටළුවක් නැහැ. ඒ වගේම ඕස්ට්‍රේලියාව, චීනය, නවසීලන්තය, ඇමරිකාව මේ වගේ රට වලින් පැමිණෙන සංචාරකයින් සාමන්‍ය ලෙස පැමිණෙනවා. යුරෝපයටත් සෘජු ගුවන්ගමන් ශ්‍රීලංකන් දැන් ආරම්භ කරලා තියනවා අනෙකුත් රූට් වලින්. "

    තව ද, මෙම තත්ත්වය හමුවේ සංචාරක කර්මාන්තයට අදාලව සතියකට ඩොලර් මිලියන 10ත් 12ත් අතර ආදායම් අහිමි වීමකත් සිඳු විය හැකි බව ද, නියෝජ්‍ය අමාත්‍යවරයා එහි දී පවසා සිටියේ ය.

    "ශ්‍රී ලංකාවේ ගත්තොත් සතියකට සංචාරක කර්මාන්තයට අදාලව ඩොලර් මිලියන 10ක 12ක වගේ අහිමි වීමක් අපිට සිද්ධ වෙනවා."